මන්නාරම පාලම අසල පිහිටි යුදහමුදා ප්‍රධාන සෝදිසි මුරපොලේදී අද (14දා ) යුද හමුදාව විසින් සිදුකරන ලද සෝදිසියකදී ලංගම බස් රථයක් තුල සඟවා තිබූ රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ප්‍රමාණයක් සොයාගත් බවට යුදහමුදාව පවසයි.
තලෙයිමන්නාරම් සිට කොළඹ දක්වා ධාවනය වූ අදාල ලංගම බස් රථය මන්නාරම් පාලම අසලදී යුදහමුදාවේ මන්නාරම 54 සේනාංකයට අයත් බුද්ධි අංශ නිලධාරීන් සහ කාලතුවක්කු බලෑනියේ බටපිරිස් විසින් සිදුකල සෝදිසියකදී බස්රථයේ ගමන්මලු අසුරණ ස්ථානයේ සඟවා තිබූ පාර්සල දෙකක තිබී මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගනු ලැබීය.
ජාවාරම් කරුවෙකු විසින් ඉතා සූක්ෂමව අදාල අයිස් මත්ද්‍රව්‍ය බස්රථයේ සඟවා සාමාන්‍ය මගී ජනතාව ගමන්කරන මුවාවෙන් කොළඹට රැගෙන යාමට උත්සහ කොට ඇති බවටත් අදාල අයිස් මත්ද්‍රව්‍ය තොගය සැඟවූ පුද්ගලයා මෙතෙක් අනාවරනය නොවී ඇති බවටද යුදහමුදාව පැවසීය.
අනතුරුව ලංගම බස්රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා යදුහමුදා බාරයට ගෙන වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම් පොලීසියට භාරදීමට පියවර ගත් බවටද යුදහමුදාව වැඩිදුරටත් පැවසීය.
