ලක්විජය බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ අනිවාර්ය නඩත්තු කටයුතු වෙනුවෙන් එම යන්ත්‍රයේ විදුලි ජනන කටයුතු තාවකාලිකව නවතා දැමීමට සැලසුම් කර ඇති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන කටයුතු අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ලක්විජය බලාගාරයේ නිත්‍ය නඩත්තු කාලපරිච්ඡේදයන් අනුව A ඛාණ්ඩයේ නඩත්තු වසර 04-06 අතරද, B ඛාණ්ඩයේ වසර 03-04 අතරද, C ඛාණ්ඩයේ නඩත්තු A හා B නඩත්තු සිදු නොවන සෑම වසරකම, මෙහෙයුම් කාලය පදනම්ව ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙගාවොට් 300 සමන්විත පළමු ජනන යන්ත්‍රයේ A මට්ටමේ නඩත්තුව 2016 පෙබරවාරි මසදී සිදුකළ අතර B මට්ටමේ නඩත්තුව ක්‍රියාත්මක කිරීමට නියමිතය. එමෙන්ම ඒ සදහා දින 75 ක පමණ කාලයක් ගතවන බවද පෙන්වා දී තිබේ.
එබැවින් 2019 ඔක්තෝබර් මස මැද භාගයේදි පළමු ජනන යන්ත්‍රය විදුලි ජනනයෙන් ඉවත් කිරීමට සිදුවන අතර නඩත්තු කටයුතු අවසන් වූ පසු යළිත් පළමු ජනන යන්ත්‍රය නැවතත් සාමාන්‍ය පරිදි විදුලි ජනන කටයුතු සඳහා යොදා ගැනීමට නියමිත බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලි බලාගාරයන්හි විදුලි උත්පාදන කටයුතු උපරිමයෙන් සිදුවන බැවින් මේ අනුව ලක්විජය බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සදහා යොමුකිරීමට සැලසුම් කල බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
