ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් සිය අමාත්‍යාංශයේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමන්ට චෝදනා කරමින් ප්‍රහාර එල්ල කළ බවත්,ඒවාට තමන් ලබාදෙන ප්‍රතිප්‍රහාර දරුණු විය හැකි යැයි ඔවුන්ට දන්වන බවත් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ අද (23දා) පැවැති සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මේ අතර රටේ වර්තමානයේ පවතින ප්‍රශ්න විසඳාගැනීම සඳහා පක්ෂ විපක්ෂසියල්ලන් එක්ව සැලසුමක් ක්‍රියාත්මක කළ යුතු බව කී රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,
"මගේ අමාත්‍යාංශය තුළ පසුගිය කාලයේ සිදුවූ සිද්ධියක් පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කරන්න ඕන. මට මතුවූ ඒ කාරණාව පිළිබඳ ජනාධිපතිතුමාට කරුණු 04ක් යටතේ ලිඛිත වාර්තාවක් ලබාදුන්නා. මම බලාපොරොත්තු වෙනවා ඒ පිළිබඳ සුබවාදීව එතුමා කඩිනම් පරීක්ෂණයක් කරයි කියලා.
මේ දුන්න ඒවා මම අද පාර්ලිමේන්තුවේ කිව්වට ඒක විසඳන්න පුළුවන් ජනාධිපතිතුමාට විතරයි. ඒ සිද්ධියෙන් පස්සෙ මම කිසිදු තැනක මම ප්‍රකාශයක් කළේ නෑ. මම නිහඬ වෙලා සිටියේ. මොකද මේ රටේ විශාල ආර්ථික ප්‍රශ්නයක් තිබෙනවා. මගේ ජනතාව මට සඳහන් කළා මේ පිළිබඳ අදහස් දක්වන්න එපා කියලා. ඒත් මම දැක්කා අපේම කණ්ඩායමේ සමහර මන්ත්‍රීවරු, ඇමතිවරු මට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. මටත් පුළුවන් ප්‍රතිප්‍රහාර එල්ල කරන්න. මිනිස්සුන්ට ඔක්සිජන් අවශ්‍ය නෑ කියපු පුද්ගලයෙක් සමග තර්කයට යන්න හෝ ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන්න එපා කියලා තමයි මගේ උගත්, බුද්ධිමත් ඡන්දදායකයන් කිව්වේ."