"විදුලිබල මණ්ඩලයේ ඉන්න සමහර නිලධාරීන්, ඉංජිනේරුවෝ රටේ ජනතාව වගේම ආණ්ඩුව සෙල්ලමට අරගෙන, මේක දිගින් දිගටම ගියොත්, විදුලි බල මණ්ඩලය ඉස්සෙල්ලාම පුනරුත්ථාපනය කරන්න වෙනවා. ඒ වගේම ආණ්ඩුවට දැඩි ක්‍රියාමාර්ග ගන්න සිදුවෙයි" යැයි ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පැවසීය.
අමාත්‍යවරයා එසේ පැවසුවේ බණ්ඩාරගම මෛත්‍රී නගර ශාලාවේදී පැවති බණ්ඩාරගම, පානදුර හා මිල්ලනිය රජයේ ඉඩම් වල පදිංචි පුද්ගලයන්ට ඇති වී තිබෙන ගැටලු නිරාකරණය කිරීමේ වැඩසටහනට සහභාගි වීමෙන් අනතුරුව ඇති වී තිබෙන විදුලි අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
"ඇත්තටම හංගන්න දෙයක් නෑ තියෙන එකම ප්රශ්නය තමයි ඩොලර් ප්රශ්නය. මොකද අපි තෙල් ගේන්න ඩොලර් දෙන්න ඕන. ඒ තෙල් වලින් තමයි අදත් විදුලි උත්පාදන යන්ත්‍ර ගොඩාක් ක්‍රියාත්මක වෙන්නේ.
විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාත් ප්‍රකාශ කරා විදුලිය කපන්න එපා විදුලිය ගන්න අවශ්‍ය තෙල් ගැන අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය කොහෙන් හරි හොයල දෙනවා කියලා.
අපිට ඉතාම විශ්වාසයි. මේ රටේ මුදල් ඇමැතිවරයා දෙයක් කිව්වොත් ඒක කරනවා. ඒ නිසා මම පැහැදිලිව කියනවා විදුලිය කපන්නේ නෑ කියලා."