උසාවිය මගින් දඩුවම් ලැබූ අයවළුන්ගෙ පවා වැඩ තහනම් නොකර, ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ පමණක් හදිසියේ වැඩ තහනම් කිරීම තුල පැහැදිලිවම පෙනී යන්නේ, පලිගැනීමක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කලේය.
මේ වන විට අධිකරණයේ වරදකරුවෙක් වී දඩ මුදල්ද ගෙවූ විදුහල්පතිවරයෙක් සහ එමෙන්ම පසුගිය වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී ප්‍රශ්න පත්‍ර පිට කිරීමේ චෝදනාව මත වැඩ තහනමට ලක් කර සිට නැවත සේවය පිහිටුවා විමර්ශනය පමණක් කරන විදුහල්පතිවරයෙකු ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිටිති.
ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ වැඩ තහනම් කිරීම හා අනෙකුත් අය සම්බන්ධයෙන් අනුගමනය කල සහනශීලී පිළිවෙත සැලකිල්ලට ගත යුතු බව ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දුන්නේය.ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාට පමණක් දඩිබිඩි පිළිවෙතක් අනුගමනය කිරීම පැහැදිලිවම පලි ගැනීමේ චේතනාවෙන් කල එකක් බව පෙනී යන බවද හෙතෙම පැවසීය.
වැටුප්ද නවතා වෙනත් සංවිධානයක් හරහා ප්‍රකාශයක් කිරීම මත ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාට ලබා දී ඇති දඬුවම සම්බන්ධයෙන් සියලු දෙනා දැනුවත් විය යුතු බවද ඒ මහතා කීය.
දේශපාලන වරප්‍රසාද හිමි රාජ්‍ය සේවකයෙක්හට වෙනත් සංවිධානයක වැඩ කිරීමේ හැකියාව ඇති බවද ස්ටාලින් මහතා පැවසීය.සමහර දේශපාලන පක්ෂ වලට සම්බන්ධ (ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ) වෘත්තීය සමිති පවා ක්‍රියාත්මක බවද මෙහිදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පැහැදිලි කළේය.
ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ වැටුප් නැවැත්වීමට සහ වැඩ තහනම් කිරීමට තරම් අක්‍රමිකතාවක් කර නොමැති ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ මේ වැඩ තහනම තෝරා බේරා ගෙන සිදුකර ඇති එකක් බැවින් මේ වනවිටත් උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ වැඩ තහනම ඉවත්කර සේවයේ පිහිටුවා අදාළ පරීක්ෂණ සිදු කරන ලෙසට තම සංගමය ඉල්ලා ඇති බවද ජෝසප් ස්ටාලින් මහතා අනාවරණය කලේය.