කූඨ ලෙස සකස් කළ ව්‍යාජ වීසා සහ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඕස්ට්‍රේලියාව වෙත පළා යෑමට තැත් කළ බංගලාදේශ ජාතිකයන් දෙදෙනෙකු 03/27 උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොවුන් අතරින් එක් බංගලාදේශ ජාතිකයෙකු 50 හැවිරිදි වියේ පසුවන අතර අනෙකා 24 හැවිරිදි තරුණයෙකි.
මොවුන් දෙදෙනා 03/27 දින අලුයම 05.00 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඔවුන් ශ්‍රී ලංකාවට ඇතුළු වීම සදහා කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුව වෙත සිය ලියකියවිලි ඉදිරිපත් කිරීමේදී , ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර දෙකෙහි යොදා තිබූ වීසා බලපත්‍ර අනීතිකව ගලවා ඉවත් කර ඇති බව එහි සේවය කළ නිලධාරීවරයාට නිරීක්ෂණය වී තිබේ .
ඒ සැනින් මොවුන් දෙදෙනා ගුවන් තොටුපළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කිරීමට එම නිලධාරීවරයා පියවර ගෙන තිබූ අතර ඔහු , මෙම බංගලාදේශ ජාතිකයන් දෙදෙනා සමග ඔවුන් ඉදිරිපත් කළ ලියකියවිලි , දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ .
එහිදී එම නිලධාරීන් , මොවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීම සිදු කර තිබූ අතර , ඒවා තුළ තිබී මොවුන්ගේ ජංගම දුරකථන සොයාගෙන තිබූ අතර , ඒවායේ මොවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර වල අලවා තිබූ කූඨ ලෙස සකස් කළ ඕස්ට්‍රේලියානු වීසා බලපත්‍ර දෙකෙහි ජායාරූප සොයාගෙන තිබුණි .
තවදුරටත් එම ගමන් මලු පරීක්ෂා කර බලත් දී , ඒවා තුළ , මීට සුළු මොහොතක පෙර ගලවා ඉවත් කර තිබූ ව්‍යාජ වීසා බලපත්‍ර දෙක ද සොයා ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වී තිබුණි .
මීට අමතරව මොවුන් දෙදෙනාගේ ගමන් මලු තුළ කූඨ ලෙස සකස් කළ ඉලෙක්ට්‍රොනික වීසා බලපත්‍ර දෙකක් සොයා ගැනීමට ද ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වී තිබුණි .
මෙම වීසා බලපත්‍ර ඇලවීම සහ ගැලවීම බංගලාදේශ තැරැව්කරුවෙකුගේ උපදෙස් මත තමන් සිදු කළ බවත් , තමන් මෙසේ රටවල් කීපයක් ඔස්සේ ගමන් කර යළිත් බංග්ලාදේශයට පැමිණීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාව වෙත යෑමට අවශ්‍ය වීසා සහ ගුවන් ගමන් බලපත්‍ර ලබා දෙන බවත් , ඒ සදහා එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 ක මුදලක් වශයෙන් රුපියල් ලක්ෂ 20 ක මුදලක් මෙම බංගලාදේශ තැරැව්කරුට ලබා දීමට එකග වී ඇති බව ද මොවුන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ අනාවරණය කර තිබේ .
මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ප්‍රධාන ආගමන විගමන නිලධාරී එස්.එල්.ජූනයින් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ආගමන විගමන නිලධාරීන් වන එම්.එම්.එස්.එන්.ගුණසේකර සහ එල්.ජී.එන්.ප්‍රියංකර යන නිලධාරී මහත්වරුන් විසින් සිදු කර තිබේ .
මෙම බංගලාදේශ ජාතිකයන් සතු සියලුම ලියකියවිලි කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ඒවා බවට තහවුරු වීමෙන් අනතුරුව , මොවුන් දෙදෙනා බංග්ලාදේශයේ ඩකා නුවර වෙත පිටුවහල් කිරීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීවරුන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ. එහිදි ඔවුන්ගේ ගමන් මලු තුළ ශ්‍රී ලංකාවේ සිට බංග්ලාදේශය වෙත එළඹෙන අප්‍රියෙල් 05 දින පිටත්ව යාම සදහා ගුවන් ප්‍රවේශ පත්‍ර දෙකක් තිබූ අතර , ඒවා උපයෝගී කර ගනිමින් මොවුන් බංග්ලාදේශය වෙත රැගෙන යාමට ශ්‍රී ලන්කන් ගුවන් සේවා නිලධාරීන් පියවර ගනිමින් සිටිති .