විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු අධ්‍යාපනය රටේ දියුණුවට යොදා ගැනීමේ වැඩපිළිවෙළ ලබන වසරේ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රට දියුණුව කරා ගෙන යාමට නම් දැනුම ඇති මානව සම්පතක් අවශ්‍ය බව පැවසු ජනාධිපතිවරයා එහි වගකීම මෙරට විශ්වවිද්‍යාල ක්ෂේත්රයට සහ වෘත්තීය පුහුණු ක්ෂේත්රයට පැවරෙන බව ද සඳහන් කළේය.
වෘත්තීය පුහුණු අධ්‍යාපන ක්ෂේත්රයේ නව පරිවර්තනයක් වෙනුවෙන් පෞද්ගලික අංශයේ සහාය මේ වන විට පළවි තිබෙන බවත් මෙරට සමස්ත අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංවිධානයට අවශ්‍ය නීති කඩිනමින් ගෙන එන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජාතික ව්‍යාපාර අධ්‍යයන විද්‍යායතනයේ (NSBM හරිත සරසවිය) 2023 උපාධි ප්‍රදානෝත්සවයට අද (11) පෙරවරුවේ එක් වෙමිනි.
සිසුන් 176 දෙනෙකු මෙහිදී උපාධි ලබාගත් අතර විශිෂ්ඨ කුසලතා දැක්වූ සිසුන් 06 දෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සම්මාන ලැබීය.
NSBM හරිත සරසවියේ උපකුලපති ඊ. ඒ වීරසිංහ මහතා විසින් සැමරුම් තිළිණයක් ලෙස ජනාධිපතිවරයා වෙත වටිනා පොත් කට්ටලයක් ද පිරිනැමීය.
"විශ්වවිද්‍යාලවලින් පිටවන සියලු දෙනාට රැකියා ලබාගත හැකි ආකාරයට අප විශ්වවිද්‍යාල අධ්‍යාපනය පරිවර්තනය කළ යුතුව තිබෙනවා. අද රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා සිසුන් ප්‍රමාණය සීමා කර තිබෙනවා. ඒ ප්‍රතිපාදන සපයා ගැනීමේ ගැටළුව නිසයි. නමුත් අනෙක් රටවල් මෙම ප්‍රශ්නයට මුහුණ දී සාර්ථකව තිබෙනවා. “සෑම අයෙකුටම අධ්‍යාපනයට ප්‍රවේශ වීමේ අයිතිය ලබාදිය යුතු බවට” එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්රකාශනයේ ද සඳහන් වෙනවා. ඒ අනුව මේ වෙනුවෙන් සෑම රටකම රජයේ සහ පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කර තිබෙනවා. ශ්‍රී ලංකාව ලෙස අපත් දැන් සූදානම්ව සිටින්නේ එම වැඩකටයුත්ත සඳහා යොමු වීමටයි.
ඒ අනුව මෙරට විශ්වවිද්‍යාල සංඛ්‍යාව දෙගුණයකින්, තුන් ගුණයකින් ඉහළ නංවා ගැනීමට අප බලපොරොත්තු වෙනවා. ඒ සමඟම නව තාක්ෂණය සමඟ මෙරට සිට විදේශීය විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබාගැනීමට සිසුන්ට අවස්ථාව හිමි වෙනවා.
ශ්‍රී ලංකාව විශ්වවිද්‍යාල කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ යුතුයි. ඒ වගේම පාසල් සිසුන්ට සහ විශ්වවිද්‍යාල සිසුන්ට ඉංග්‍රීසි දැනුම ලබාදීමේ වැඩකටයුතු 2030 වන විට සම්පූර්ණ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනෙක් භාෂා දැනුමෙන්ද මෙරට සිසු පරපුර සවිබල ගැන්විය යුතුයි."