විදුලි බල මණ්ඩලය ඉතිහාසයේ නොවූ විරූ මහා දැවැන්ත මහජන මුදල් සූරාකෑමක යෙදී සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද (24දා) 2024 විසර්ජන පනත් කෙටුම්පත (අය වැය) කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.
"ඊයේ රාත්‍රියේ රූපවාහිනී නාලිකා වල ප්‍රධාන සිරස්තලයක් බවට පත්වුණේ විදුලි බලාගාර ආශ්රිත ජලාශ සියල්ලම පාහේ වාන් දාන තත්වයක් උදා වෙලා කියලා. ජලාශ පිරිලා ඉතිරිලා ගිහිල්ලා කියලා. ඔක්තෝම්බර් මාසයේ 20 දා විදුලි බිල වැඩි කරන්න හදනකොට අපි මේක කිව්වා. ජුනි, ජූලි මාසවල පෑව්ව බව ඇත්තයි. හැබැයි අගෝස්තු මැද ඉඳන් ඉතිහාසයේ නොවූ විරූ වැස්සක් වහිනවා. දැන් මේකෙන් ජලාශ පිරෙමින් පවතිනවා. අර වෙච්ච පාඩුව මේ ලැබෙන වැස්සෙන් ආවරණය කරගන්න පුලුවන්. ඒ නිසා විදුලි බිල වැඩි කරන්න යන්න එපා කියලා අපි කිව්වා.
අපේ විදුලිබල අමාත්‍යතුමන් මාතර ඉන්න නිසාද මන්දා මෙන්න අපි ආවෝ කියලා වැස්ස කියාගෙන වැඩියෙන්ම වැස්සට යටවුණේ මාතර දිස්ත්‍රික්කයම තමයි. හැබැයි අපේ ඉල්ලීමට ඇහුම්කන් දුන්නේ නෑ විදුලි බිල වැඩි කරා. ඔක්තෝබර් මාසේ 20 ඉඳන් දැවැන්ත විදුලි බිල වැඩි කිරීමක් කරා. මොකක්ද මේ වන විට තත්වය ? නොවැම්බර් 23 වෙනිදා ඒ කියන්නේ ඊයේ දවසේ විදුලි නිෂ්පාදන ප්‍රභවයන් දිහා බැලුවම සමස්ථ විදුලි පරිභෝජනය ගිගාවොට් පැය 42 ක්.
එකෙන් ගිගා වොට් පැය 27ක් ඒ කියන්නේ 64% ම නිපදවලා තියෙන්නෙ විදුලිබල මණ්ඩලයේ ජල විදුලි බලාගාර වලින්. සමස්ත පුනර්ජනීය ප්රභවයන්ගේ විදුලිබල නිෂ්පාදනයට ඊයේ දවසේ දායකත්වය 82% ක්. ගල් අගුරු වලින් 14% යි. තාප විදුලිබලාගාරවල දායකත්වය 3.6% යි. විදුලිබල මණ්ඩලයේ ම දත්ත අනුව විදුලිබල මණ්ඩලයට තමන්ගේ බලාගාරවල ජලයෙන් විදුලි නිෂ්පාදනය කරන්න වැයවෙන්නේ රුපියල් 3.07යි.
බෙදාහැරීමේ වියදම්, පරිපාලන වියදම්, සම්ප්‍රේෂණයේ දී ඇති වෙන ණය නාස්තිය මේ සියල්ලම එකතුකරලා රුපියල් 3.50 යි කියමු. එහෙමනම් 3.50 ට හදාගත්ත විදුලිය කීයටද අපිට විකුණන්නේ. අපේ පලවෙනි එක 60 වෙනකන් රුපියල් 38ක් අයකරනු ලබනවා. 60 -90 අතර රුපියල් 41ක් අයකරනවා. සැබෑ පිරිවැය වගේ එකොළොස් ගුණයකට, දොළොස් ගුණයකට තමයි විදුලිබල මණ්ඩලය විදුලි අපිට විකුනන්නේ. කලුකඩේවත් එහෙම වෙන්නේ නෑනේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි.
ගිනිපොලී කාරයෙක්වත් එකොලොස් ගුණයක් පොළිය ගන්නේ නෑනේ වාර්ෂික පොලිය හදලා බලද්දි. එහෙමනම් ඉතිහාසයේ නොවූ විරූ මහා දැවැන්ත සූරාකෑමක විදුලි බල මන්ඩලයේ යෙදිලා ඉන්නවා කියන එක ඉතාම කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා."