මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තය සඳහා තවදුරටත් චීන වෙළෙඳපොළ විවෘත කරදීමට චීනයේ අවධානය යොමුව තිබේ. චීනයේ බීජිං නුවර පැවති 2023 ගෝලීය ඩිජිටල් ආර්ථික සමුළුවේදී ශ්‍රී ලංකා සමුළු නියෝජිතයන් දක්වන ලද අදහස් සැලකිල්ලට ගෙන මෙම අවධානය යොමුව ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ශ්‍රී ලංකාව ලබා ඇති වර්ධනය ගැන ද චීන නියෝජිතයන් සිය ප්‍රසාදය පළ කර ඇති අතර, සිව් දිනක් පුරා පැවති මෙවර සමුළුවේ තේමාව, &ඩිජිටල්කරණය සංවර්ධනයට මඟ පාදයි, බුද්ධිය අනාගතයට මඟ පෙන්වයි* යනුවෙන් හඳුන්වා තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා සහ නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සචින්ද්‍ර සමරරත්න යන මහත්වරු මෙම සමුළුවට සහභාගි වූහ.
සමුළුව ඇමතූ මහේෂ් පෙරේරා මහතා 2030 වසර ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ ක්රමෝපායන් සහ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන තිබෙන පියවර ගැන මෙන්ම, එහි ප්‍රගතිය ගැනද සඳහන් කළේය.
රටේ ආර්ථික අර්බුදය උග්‍රව පැවති පසුගිය සමයේ ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීම මගින් පීඩාවට පත් වූ ජනතාවට සහනයක් වූ බව පෙන්වා දුන් ඒ මහතා ඩිජිටල් තාක්ෂණයේ ප්රතිලාභ ජනතාව ලැබූ එක් අවස්ථාවක් වශයෙන් එය හැඳින්වීය.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය ක්ෂේත්රය වැඩි දියුණු කිරීම සහ ඩිජිටල් ආර්ථීකය සවිබල ගැන්වීම සඳහා මෙම සමුළුව උත්තේජනයක් වී ඇති අතර, මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන් චීන වෙළෙඳපොළට පිවිසීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කර තිබුණි.
ලෝකයේ නගර කේන්ද්‍ර කර ගනිමින් ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීමත්, නව්‍ය ව්‍යාපාර හා නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීමත්, 5G තාක්ෂණය වැනි වේගයෙන් සංවර්ධනය වන ඩිජිටල් ක්ෂේත්රයන් වෙත වැඩි අවධානයක් යොමු කිරීමත් මගින් සාධනීය වෙනස්කම් සඳහා මඟ පෑදෙන බව සමුළු නියෝජිතයන් මෙහිදී පෙන්වා දී තිබේ.
මෙරට ඩිජිටල්කරණය වේගවත් කිරීමේ වැඩපිළිවෙළට අදාළව ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඩිජිටල් ආයෝජන සමුළුවට සහභාගි වන ලෙස කරන ලද ආරාධනයටද චීන සමුළු නියෝජිතයන් මෙහිදී යහපත් ප්‍රතිචාර දක්වා තිබේ.
පර්යේෂණ, අධ්‍යාපන, කර්මාන්ත, දේශපාලන ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන්, ආයෝජකයන්, විද්වතුන් ඇතුළු චීනය, ශ්‍රී ලංකාව, හොංකොං, මැලේසියාව, නෝර්වේ, ලාඕසය, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්ලොවේනියාව ආදී ආරාධිත රටවල් රැසක නියෝජිතයෝ මෙම සමුළුව සඳහා එක්ව සිටියහ.