පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්රනාන්දු යන අයවලුන්ගේ රත්මලාන නිවාස වලට පහර දී දේපල කොල්ල කෑමේ සිද්ධීන් වලට සම්බන්ධ කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු අද (24දා) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
මන්ත්රීවරුන් දෙදෙනාගේ නිවාස වලට පහර දුන් බව කියන පුද්ගලයන් 25 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
එලෙස කොල්ල කන ලද ගෑස් සිලින්ඩර.,කාය වර්ධන මැෂිමක්,මෙන්ම ඉස්තරම් වර්ගයේ විදේශීය මත්පැන් හිස් බෝතල් කීපයක් පොලිසිය භාරයට ගෙන ඇත.
ඉකුත් මැයි නම වෙනි දින දිවයින පුරා පැවති කලහාකාරී සිද්ධිය අතරතුරදී සැකකරුවන් රත්මලාන සිරිමල් උයන ප්රදේශයේ එකී නිවාස වලට පහර දී එහි දේපල කොල්ලකෑම සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන සහ පුද්ගලික ඔත්තුකරුවන්ගෙන් ලද තොරතුරු අනුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කොල්ල කන ලද විදේශීය මත්පැන් බෝතල් පහරදීමට පැමිණි අනෙකුත් පිරිස සමඟ ඒ ආසන්නයේ දුම්රිය මාර්ගයේ තබාගෙන පානය කළ බවත් සැකකරුගෙන් ප්රශ්න කිරීමේදී අනාවරණ වූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු රත්මලාන අඟුලාන පදිංචි වයස අවුරුදු 26ක පුද්ගලයකු වන අතර සැකකාරිය රත්මලාන මල්ලිකාරාම පාරේ 45 හැවිරිදි තැනැත්තියකි.
සැකකරු සහ සැකකාරිය ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.