රෝහල් හා සෞඛ්ය ආයතන සඳහා ජල හා විදුලි කළමනාකරණ මාර්ගෝපදේශ මාලාවක්
ලෝක බලශක්ති දිනය අදට (22) යෙදීම නිමිත්තෙන්, රජයේ රෝහල් හා සෞඛ්ය ආයතනවල ජලය හා විදුලිය අරපිරිමැස්මෙන් හා කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා මෙරට රාජ්ය සෞඛ්ය පද්ධතිය වෙනුවෙන් ප්රථම වරට සම්පාදනය කරන ලද විශේෂ ජල හා විදුලි කළමනාකරණ මාර්ගෝපදේශ මාලාව සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතාගේ ප්රධානත්වයෙන් අද (21) කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ශ්රවණාගාරයේදී එළිදක්වන ලදී.
එහිදී අදහස් දැක්වූ සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා, රෝගී සුරක්ෂිතතාව, ආසාදන වැළැක්වීම සහ අත්යවශ්ය සෞඛ්ය සේවාවන්හි අඛණ්ඩ පැවැත්ම කිසිදු අයුරකින් අඩාල නොවන පරිදි ජලය හා විදුලිය කළමනාකරණය කිරීම සෑම සෞඛ්ය ආයතනයකම අත්යවශ්ය කළමනාකරණ වගකීමක් බව අවධාරණය කළේය.
රෝහල්වල ශල්යාගාර, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, රූපණ සේවා, ඖෂධ ගබඩා කිරීමේ ශීත දාම පද්ධති සහ විෂබීජහරණ පහසුකම් ඇතුළු අත්යවශ්ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විශ්වාසදායක විදුලි සැපයුමක් අත්යවශ්ය වන අතර, රෝගී සත්කාරය, සනීපාරක්ෂාව සහ ආසාදන වැළැක්වීම සඳහා ප්රමාණවත් හා ආරක්ෂිත ජල සැපයුමක් පවත්වාගෙන යාම ද අනිවාර්ය අවශ්යතාවක් බව නියෝජ්ය අමාත්යවරයා පෙන්වා දුන්නේය.
ජලය හා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම හුදෙක් උපයෝගිතා වියදම් අඩු කිරීමේ වැඩපිළිවෙළක් නොව, මහජන මුදල් හා සම්පත් වගකීමෙන් කළමනාකරණය කරමින් ඒවායෙන් උපරිම ප්රතිලාභ ලබාගැනීමේ ක්රමවත් ප්රවේශයක් බව ද ඒ මහතා සඳහන් කළේය. එබැවින්, රෝගීන්ට සැපයෙන ප්රතිකාර සේවාවන්හි ගුණාත්මකභාවය හා අඛණ්ඩ පැවැත්ම සුරක්ෂිත කරමින් අනවශ්ය පරිභෝජනය හා නාස්තිය අවම කිරීම කෙරෙහි සියලු සෞඛ්ය ආයතන ප්රමුඛ අවධානය යොමු කළ යුතු බව ද අවධාරණය කළේය.
මෙම මාර්ගෝපදේශ ක්රියාත්මක කිරීමේදී සම්පත් ඉතිරි කිරීමේ නාමයෙන් රෝගී සත්කාරයට අත්යවශ්ය පහසුකම් සීමා කිරීම වෙනුවට, පවතින පද්ධති වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු බව ද නියෝජ්ය අමාත්යවරයා පෙන්වා දුන්නේය. ජලය හා විදුලි පරිභෝජනය විධිමත්ව අධීක්ෂණය කිරීම, පද්ධති නිසි පරිදි නඩත්තු කිරීම සහ හඳුනාගන්නා අඩුපාඩු කඩිනමින් නිවැරදි කිරීම සෞඛ්ය ආයතන කළමනාකරණයේ අත්යවශ්ය අංග බව ද ඒ මහතා සඳහන් කළේය.
අමාත්යාංශයෙන් නිකුත් කරන තවත් ලේඛනයක් ලෙස පමණක් මෙම මාර්ගෝපදේශ මාලාව නොසලකා, සෑම සෞඛ්ය ආයතනයකම දෛනික පරිපාලන හා කළමනාකරණ ක්රියාවලියට ඒකාබද්ධ කරගත යුතු ප්රායෝගික වැඩපිළිවෙළක් ලෙස සලකා ක්රියාත්මක කරන ලෙස සියලු සෞඛ්ය ආයතන ප්රධානීන්ගෙන් නියෝජ්ය අමාත්යවරයා ඉල්ලා සිටියේය.
මාර්ගෝපදේශයක් සකස් කර එළිදැක්වීමෙන් පමණක් අපේක්ෂිත ප්රතිඵල අත්කරගත නොහැකි බවත්, එහි සාර්ථකත්වය තීරණය වන්නේ එය ප්රායෝගිකව ක්රියාත්මක කිරීමෙන් අත්කරගන්නා ප්රතිඵල මත බවත් අවධාරණය කළ ඒ මහතා, ජලය හා විදුලි පරිභෝජනය සම්බන්ධයෙන් වගකීම් නිශ්චිතව පැවරීම, දත්ත නිසි පරිදි වාර්තා කිරීම සහ කාර්ය මණ්ඩල සහභාගිත්වයෙන් අඛණ්ඩව වැඩිදියුණු කිරීමේ ක්රමවේදයක් ගොඩනැඟීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.
ලෝක බලශක්ති දිනයේ අරමුණු සමඟ ද සමපාත වන මෙම වැඩපිළිවෙළ, බලශක්ති සංරක්ෂණය, ස්වාභාවික සම්පත් වගකීමෙන් භාවිත කිරීම සහ පාරිසරික තිරසරභාවය ප්රවර්ධනය කිරීම සඳහා රාජ්ය සෞඛ්ය පද්ධතියට දායක විය හැකි ප්රායෝගික පියවරක් බව නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේය. මහජන මුදලින් පවත්වාගෙන යන සෞඛ්ය ආයතනවල සෑම සම්පතක්ම වගකීමෙන් භාවිත කිරීම තුළින් සෞඛ්ය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, අනවශ්ය වියදම් අවම කිරීමටත්, පරිසර හිතකාමී හා තිරසර සෞඛ්ය සේවා පද්ධතියක් ගොඩනැඟීමටත් අවස්ථාව සැලසෙන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

