රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඞ් ආසාදිතයින් සමාජයේ බහුල ලෙස සිටිය හැකි නිසා ඔවුන් හඳුනාගැනීම වෙනුවෙන් අහඹු පී. සී. ආර්. පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනමින් පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා සඳහන් කළේය.
වත්මන් කොවිඞ් තත්ත්වය පිළිබඳව ඊයේ (22 ) මාධ්‍යයට අදහස් දක්වමින් වෛද්‍යවරයා මේ බව කියා සිටියේය.
මේ වනවිට මෙරට කොවිඞ් තත්ත්වය යම් පාලනයකට නතුකර ගැනීමට සෞඛ්‍ය අංශ සමත්ව තිබුණත් ජනතාව රෝගය අමතක කර දෛනික කටයුතුවල යෙදීම හේතුවෙන් යම් අවදානමක් මතුව තිබෙන බව ද කී වෛද්‍යවරයා නිසි ලෙස මුව ආවරණ පැළඳීම දුරස්ථභාවය තබා ගැනීම, දෑත් සේදීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ ජනතාව විසින් අමතක කර දැමීම යහපත් තත්ත්වයක් නොවන බව ද අවධාරණය කළේය.
කොවිඞ් තත්ත්වය මෙරටින් තුරන් කර අවසන් යැයි සිතා ජනතාව කටයුතු කරන බව පෙනෙන්නට තිබුණත් දිනපතා ආසාදිතයින් හයසිය ඉක්මවා වාර්තාවීමත් මරණ විස්සක් පමණ වාර්තා වීමත් සුළු කොට තැකිය හැකි තත්ත්වයක් නොවන බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.
මෙවන් තත්ත්වයක් තුළ කොවිඞ් පාලනය සෞඛ්‍ය අංශවලට පමණක් සිදු කළ නොහැකි හෙයින් ජනතාව සතුව ද විශාල වගකීමක් පවතින බව වටහා ගත යුතු බව ද වෛද්‍යවරයා පැවසීය.