ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දූෂිතයන්ට එරෙහිව සටන් කළ රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම පිටුපස අදිසි හස්තයක් තිබෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව මෙම අවස්ථාවේ රොෂාන් රණසිංහ මහතාගේ ජීවිතයට පවා තර්ජනයක් විය හැකි බැවින් පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා ඔහු වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් එහි සඳහන් කර ඇත.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස සඳහන් කර ඇත.
"ජනතා වරමකින් තොරව බලයට පත් වූ වත්මන් ජනාධිපතිවරයා රටේ නීතිය පවා උල්ලංඝනය කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ වැඩ කටයුතුවලට බාධා කිරීමත්, ඉන් නොනැවතී දූෂිත ක්‍රිකට් පරිපාලනයට එරෙහිව ගෙන ගිය වැඩකටයුතු සියල්ල අඩාළ කරමින් ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් සහ සෙසු අමාත්‍ය ධුරවලින් ඔහු ඉවත් කිරීමට ගත් අමනෝඥ දුර්දාන්ත තීරණයටත් ප්රජාතන්ත්රවාදය අගයන විපක්ෂයක් ලෙස අප විරුද්ධ වන්නෙමු.
රටේ ලක්ෂ 220ක් වූ ජනතාව ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට අන්ත දූෂිත වී තිබේ. රට බංකොලොත් කිරීමට හේතු වූ රාජපක්ෂවරු එලවා දැමීමෙන් පසු ජනතාව අපේක්ෂා කළේ මෙවැනි දූෂිත පාලනයක් නොවේ. එහෙත් ගජමිතුරු ධනවාදය, ලුම්පන් ධනවාදය ක්‍රිකට් පරිපාලනය ආක්‍රමණය කරමින් ජනතාව ආදරය කළ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කර අවසන් ය. එකී ගජමිතුරු වාදයට එරෙහිව නොබියව සටන් කළ වත්මන් ක්‍රීඩා ඇමතිවරයාගේ වැඩකටයුතුවලට ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය අනීතිකව මැදිහත් වී බාධා පැමිණවීම කිසිසේත්ම අනුමත කළ නොහැක.
ජනාධිපතිවරයා විසින් දූෂිතයන්ට එරෙහිව සටන් කළ ක්‍රීඩා ඇමතිවරයා කිසිදු සාධාරණ හේතුවකින් තොරවම සිය ධුරවලින් ඉවත් කිරීම පිටුපස අදිසි හස්තයක් ඇති බවට සැකයක් මතු වේ. මේ වන විට රොෂාන් රණසිංහ මහතාගේ ජීවිතයට පවා තර්ජනයක් විය හැකි බැවින් පක්ෂ භේදයකින් තොරව අප සියලු දෙනාම ඔහු වෙනුවෙන් පෙනී සිටිය යුතු යි."