රේගු බදු නොගෙවා මෙරටට ගෙන්වූ අතිසුඛෝපභෝගි ජීප් රථ 51ක් හේතුවෙන් රජයට රුපියල් කෝටි 300කට අධික පාඩුවක් වී ඇති බවට දැනුම් දෙමින් අල්ලස් කොමිසම කළ ඉල්ලීමකට අනුව එම අති සුඛෝපභෝගි ජීප් රථ 51ක වෙනත් පාර්ශ්වයන්ට පැවරීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝගයක් නිකුත් කළේය.
රජයට රුපියල් කෝටි 300කට අධික පාඩුවක් කළ මෙම අතිසුඛෝපභෝගි ජීප් රථ 51 සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පසු ඒවා වෙනත් පාර්ශ්වයන්ට පවරා අස්ථානගත කිරීමේ සූදානමක් ඇතැයි කියමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෝටර් රථවාහන ලියාපදිංචි කිරීමේ අධ්යක්ෂ ජනරාල්වරායාට එලෙස නියම කළේය.
වෙනත් පාර්ශ්වයන්ට පැවරීම වළක්වාලමින් එලෙස නියම කරන ලද්දේ අතිසුඛෝපභෝගී ජීප් රථ 03ක්, ලැන්ඩ් කෲසර් වර්ගයේ ජීප් රථ 24ක්, මොන්ටේරෝ වර්ගයේ ජීප් රථ 18ක්සහ අතිසුඛෝපභෝගි කැබ් රථ 06ක් ඇතුළු අතිසුඛෝපභෝගි ජීප් රථ 51කි.
රේගු බදු නොගෙවා මෙරටට ගෙන්වූ වාහන පිළිබඳව මෝටර් රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන යන රථවාහන ලියාපදිංචි කිරීමේ පරිගණක පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුළත් කර මෝටර් රථ ලියාපදිංචි කරන බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනයකදී මෝටර් රථවාහන 400ක් පමණ ව්‍යාජ දත්ත ඇතුළත් කර එලෙස ලියාපදිංචි කර ඇතැයි හෙළි වූ බව අල්ලස් කොමිසමේ නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.
රථවාහන ලියාපදිංචි කිරීමේ පරිගණක පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුළත් කර එලෙස ලියාපදිංචි කළ මෝටර් රථවාහන 400 අතුරින් වාහන 178ක් පිළිබඳ තොරතුරු මේ වන විටත් හෙළි කරගෙන ඇතැයි දැනුම් දුන් නිලධාරීහු එම වාහන 178 අතුරින් වාහන 51ක් නිසි අන්දමින් රේගුවෙන් නිෂ්කාශනය කර නැති බවට රේගු දෙපාර්තමේන්තුව තමන්ට දැනුම් දුන් බව වාර්තා කළ අල්ලස් කොමිසමේ නිලධාරීහු, අදාළ වාහන සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පසු ඒවා වෙනත් පාර්ශ්වයන්ට පවරා අස්ථානගත කිරීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලබී ඇතැයිද දැනුම් දුන්හ.
එහෙයින් මෙම වාහන වෙනත් පාර්ශ්වයන්ට පැවරීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයිද අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීම පිළිගනිමින් ඊට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීමටද නියම කළේය.