ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු පරීක්ෂක තනතුර සඳහා පුද්ගලයන් බඳවා ගැනීමට ඊයේ (17දා) අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ පැවති විභාගයකදී, කූඨ ලේඛන සකස් කර විභාගයට පෙනී සිටි පුද්ගලයෙකු අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ප්‍රධාන පාර, ඉකිරිගොල්ලෑව, වහමල් ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි.
ඊෆය් (17 දා) වලිසිංහ හරිචන්ද්‍ර විද්‍යාලයේ පැවති රේගු දෙපාර්තමේන්තුවේ 2වන ශ්‍රේණියේ රේගු පරීක්ෂක තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටි 24 හැවිදි පුද්ගලයෙකුගේ හැඳුනුම්පත ඉදිරිපත් කර, අදාල විභාග ප්‍රවේශ පත්‍රයේ නිල අයදුම්කරුගේ අස්සන කූඨ ලෙස යොදා මෙම සැකකරු පෙනී සිට තිබූ බව පොලිසිය කියයි.
විභාග දෙපාර්තමේන්තුවට ලැබුණු දුරකථන පණිවිඩයකට අනුව, එම ශාලාවේ විභාග ශාලාධිපතිවරයා ලෙස කටයුතු කල සහකාර අධ්යක්ෂ ඩී.ඩබ්ලිව්. එම්. ජයපද්ම බණ්ඩාර මහතා විසින් මේ සම්බන්ධයෙන් කරුණු තහවුරු කර ගැනීමෙන් අනතුරුව සිදු කල පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා, විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි නීත්‍යානුකූල අයදුම්කරුගේ ඥාති සහෝදරයකු වන බවද පොලිසිය කියයි