ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන සඳහා වෙළෙඳපොල සැකසීමටත්, කෘෂි නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණික උපකරණ හඳුන්වා දීමටත් රුසියානු රජයේ ෆෙඩරේෂණයේ සහයෝගය පළ කරයි.
රුසියානු ෆෙඩරේෂණයේ ශ්‍රී ලංකාවේ තානාපති Levan. S. Dzhagarayan මහතා සහ රුසියානු වෙළෙඳ කොමසාරිස් Alexandar. L. Rybas යන මහත්වරු සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර ඊයේ දින (14) පෙරවරුවේ සාකච්ඡාවක් පවත්වනු ලැබීය. එම සාකච්ඡාවට රුසියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Ms. Galina Kukuliva සහ ආර්ථික අංශයේ උපදේශිකා Anastasia A. Grineva මහත්මීහු ද සහභාගි වූහ.
කෘෂිකර්ම අමාත්‍යාංශය නියෝජනය කරමින් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා හා අතිරේක ලේකම් මාලතී පරසුරාමන් මහත්මිය ද සහභාගි වූහ.
මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ කාෂි නිෂ්පාදන සඳහා වෙළෙඳපොලක් රුසියාව තුළ ඇති කිරීමටත්, කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා රුසියානු ෆෙඩරේෂණය විසින් භාවිත කරන නව තාක්ෂණය හා තාක්ෂණික උපක්‍රම හඳුන්වා දීම සම්බන්ධවත් සාකච්ඡා කළේය.
එමෙන්ම ඉදිරියේ දී ශ්‍රී ලංකාවට යුරියා ඇතුළු රසායනික පොහොර ලබා ගැනීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.
මෙම කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය හා රුසියානු තානාපති කාර්යාලය එක්ව සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාමටත් මෙහිදී තීරණය කරනු ලැබීය.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය සංවර්ධනය සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය පළ කරන ලෙස රුසියානු තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.