රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුවට මුදල් කාරක සභාවේ අනුමතිය
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඒ අනුව, එම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අද (19) පාර්ලිමේන්තුවේ දී අනුමතිය ලබා ගැනීමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (18) පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය හිමිවිය.
2026 වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙසැම්බර් 5 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත වුවද, පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් අයවැය යටතේ අනුමත කරන ලද මුදල් ප්රමාණයන්ට වඩා අමතර අරමුදල් අවශ්‍ය වී ඇති බව පැමිණ සිටි නිලධාරීහු ප්‍රකාශ කළහ. ඒ අනුව, බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට සහාය වීම, බලගැන්වීම සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඇස්තමේන්තුගත රුපියල් බිලියන 500 ක පරිපූරක මුදලක් යෝජනා කර ඇත.
යෝජිත පරිපූරක ඇස්තමේන්තුවට ව්‍යසනයෙන් විනාශ වූ නිවාස ප්‍රතිසංස්කරණය සහ නැවත ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 100 ක්, හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 250 ක් සහ බලපෑමට ලක් වූ ප්‍රජාවට ජීවනෝපාය ආධාර සැපයීම සඳහා රුපියල් බිලියන 150 ක් ඇතුළත් වේ.
මෙම පරිපූරක ඇස්තමේන්තුවේ ප්‍රතිඵලයක් ලෙස 2026 සඳහා ප්‍රාථමික වියදම්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත මගින් පනවන ලද දළ දේශීය නිෂ්පාදිතයෙන් 13% ක සීමාවට වඩා 1.5% ක් පමණ ඉහළ යන බව කාරක සභාව විසින් නිරීක්ෂණය කරන ලදී. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 16 වන වගන්තිය ප්‍රකාරව ජාතික ආර්ථිකයේ ආරක්ෂාවට හෝ මහජන සෞඛ්‍යයේ ආරක්ෂාවට තර්ජනයක් සිදුකළ හැකි අනපේක්ෂිත සිදුවීමක් හෝ ස්වාභාවික ආපදාවකදී, අමාත්‍ය මණ්ඩලයේ මතය අනුව එවැනි සීමාව උල්ලංඝනය කිරීමකට අවසර තිබෙන බව නිලධාරීහු මෙහිදී කරුණු දැක්වූහ.
මෙම අරමුදල්වල ප්‍රතිලාභීන් තෝරා ගැනීම පිළිබඳව ද කාරක සභාව විමසා සිටියේය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) නිවාස 15,000ක් හඳුනාගෙන ඇති බවත්, ප්‍රගතිය මන්දගාමී වුවද 2017 සිට සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බවත් නිලධාරීහු මෙහිදී පැවසූහ. 2026 අයවැය මඟින් දැනටමත් හඳුනාගෙන ඇති නිවාස 3,000ක් පමණ ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 5,000ක් වෙන් කර ඇති බව නිලධාරීහු තවදුරටත් ප්‍රකාශ කළහ. ඊට අමතරව, ප්‍රතිසංස්කරණ සහ නැවත පදිංචි කිරීම සඳහා අරමුදල් වෙන් කර ඇත. ව්‍යසනයෙන් සැබවින්ම පීඩාවට පත් වූවන්ට සහාය වීම සඳහා නිවැරදි දත්ත ලබා ගත යුතු බවත් නිසි සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවත් කාරක සභාව මෙහිදී අවධාරණය කළේය.
එසේම, ‘Rebuilding Sri Lanka’ අරමුදල වඩාත් විනිවිදබවකින් යුතුව භාවිතා කරන බව සහතික කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිත ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස විධිමත් ආකාරයෙන් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය ද කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.
දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

