නාගරික සංවර්ධන අධිකාරිය විසින් රජයේ මුදල් වියදම් කර ආරම්භ කර ඇති එහෙත් දැනට විවිධ හේතූන් නිසා අතහැර දමන ලද ව්‍යාපෘතීන් 23 ක් පවතින බවත් ඒ අතරින් ව්‍යාපෘති 11 ක් ආයතන අතර පවතින ප්‍රශ්න හේතුවෙන් නැවතී ඇති ඒවා බවත් පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා අනාවරණය විය.
මුදල් නොමැතිවීම නිසා නැවතී ඇති ව්‍යාපෘතිවලට අමතරව මෙම ව්‍යාපෘති නතර වීමට ප්‍රධාන හේතුව අදාළ ආයතන අතර මනා සහයෝගයක් හෝ එකඟතාවයක් නොමැතිවීම බවත් කාරක සභාව අවධාරණය කරන ලදී.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් රජයේ මුදල් වියදම් කර ආරම්භ කර ඇති එහෙත් දැනට විවිධ හේතූන් නිසා අතහැර දමන ලද ව්‍යාපෘතීන් පිළිබඳව සලකා බැලීම සහ එමඟින් ව්‍යාපෘතීන් ආරම්භ කිරීමේදී සහ පවත්වාගෙන යාමේදී අනුගමනය කරන ක්රමෝපායන්හි හෝ පවතින නීතිරීතිවල වෙනසක් සිදුකිරීම සම්බන්ධයෙන් 2023 ජුනි මස 20 වන දින අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතීත්වයෙන් රැස් වු පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී විමසා බලන ලදී.
මේ අනුව දැනට ආයතන අතර පවතින ප්‍රශ්න හේතුවෙන් අතරමැද නවත්වා ඇති ව්‍යාපෘති 11 ක් සඳහා රු. මිලියන 56,388/= ක මුදලක් ඇස්තමේන්තුගත කර ඇති බවත්, නාගරික සංවර්ධන අධිකාරිය විසින් රු. මිලියන 2,531ක් වැය කර තිබුණද, තවදුරටත් ගෙවීම සඳහා රුපියල් මිලියන 14,23ක හිඟ බිල්පත් පවතින බවත් මෙහිදී අනාවරණය විය. එසේම රුපියල් මිලියන 56,999ක මුදලක් ව්‍යාපෘතිවල වැඩ නිමකිරීම සඳහා තවදුරටත් අවශ්‍යව ඇති බවත් මෙහිදී හෙළි විය.
මෙම ව්‍යාපෘති අතර මුදල් නොමැතිවීම නිසා නැවතී ඇති ව්‍යාපෘතීන් මෙන්ම විවිධ ආයතන අතර පවතින නිරවුල් කරගත යුතු ආයතනික ප්‍රශ්න හේතුවෙන් නැවතී ඇති ව්‍යාපෘති පවතින බැවින්, මෙදින කාරක සභාව සිය අවධානය යොමු කරන ලද්දේ ආයතන අතර පවතින ගැටලු හේතුවෙන් අතරමඟ නැවතී ඇති ව්‍යාපෘති සම්බන්ධයෙනි.
මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළුව ලංකා විදුලිබල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද කාරක සභාව හමුවට කැඳවන ලදී. ආයතන අතර පවතින ප්‍රශ්න හේතුවෙන් නැවතී ඇති ව්‍යාපෘති 11 අතුරින් කොට්ටාව සිට මාහේනවත්ත දක්වා නව පිවිසුම් මාර්ගය ඉදිකිරීම, අලව්ව නගර සංවර්ධනය (මාර්ග පුළුල් කිරීම), ගම්පහ අධිවේගී මාර්ගයෙන් යක්කල දෙසට පිවිසුම ඉදිකිරීම, ඉමදුව නගරය පුළුල් කිරීම, බේරුවානවත්ත, ඇහැළියගොඩ අඩු ආදායම්ලාභී නිවාස ඉදිකිරීම, හැටන් දුම්රියපොළ සංවර්ධනය සහ වැලිකඩ බන්ධනාගාරය ප්‍රතිස්ථාපනය සම්බන්ධයෙන් කාරක සභාව මෙදින සලකා බලන ලදී.
කොට්ටාව සිට මාහේනවත්ත දක්වා නව පිවිසුම් මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ කටයුතු මේ වන විට 98% පමණ නිමකර ඇති බවත්, ඉඩම් අහිමිවන පුද්ගලයින් සඳහා වෙනත් තැනක් යෝජනා කර ඇති බැවින් ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් පවතින ගැටළුව බොහෝ දුරට විසදා ගෙන ඇති බවත්, හෝමාගම ප්‍රාදේශීය ලේකම් සමඟ දැනට ඇති ඉතිරි ගැටලු ද විසඳා ගැනීමෙන් පසු ව්‍යාපෘතිය නිමකිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට ලබාදිය හැකි බව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු කාරක සභාව හමුවේ ප්‍රකාශ කළහ.
ඇහැළියගොඩ නගරයෙහි සංවර්ධනය සඳහා ඉතාමත් වැදගත්වන එම නගරය හරහා යෑම වෙනුවට යෝජිත අතුරු මාර්ගය ඉදිකිරීමේදී ඉඩම් අහිමි වන පුද්ගලයින් නැවත පදිංචි කිරීම සඳහා සැලසුම් කරන ලද බේරුවානවත්ත, ඇහැළියගොඩ අඩු ආදායම්ලාභී නිවාස 34 ඉදිකිරීමේ කටයුතු එම නිවාස සඳහා විදුලිබලය සහ ජල සැපයුම ලබා ගැනීමේදී ඇති වු ප්‍රශ්න හේතුවෙන් දැනට නැවතී ඇති බව අනාවරණය විය. නිවාස දැනට සාදා නිමකර ඇති බවත්, විදුලිබල මණ්ඩලය සහ රත්නපුර දිස්ත්‍රික් ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව සමග පවතින පහසුකම් ලබාදීමේ ගැටළුද ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සහ මාර්ග සංවර්ධන අධිකාරිය අතර පවතින ගැටළු ආයතන අතර සහයෝගීතාවෙන් විසඳා ගෙන ව්‍යාපෘතිය නිම කරන ලෙස කාරක සභාව උපදෙස් දෙන ලදී.
එසේම ගම්පහ මාකවිට නෙළුම්විල යෝජිත ශරීර සුවතා මංතීරු ව්‍යාපෘතියේ ඉඩම් පවරා ගැනීමේ කටයුතු නිම කර තිබුණද ව්‍යාපෘතිය අතරමඟ නැවතී ඇති බව කාරක සභාව හමුවේ අනාවරණය විය. මේ සඳහා මිලියන 13ක් වියදම් කර ඇති බැවින් මෙම ඉඩම් කොටසෙහි නාගරික වන වගාවක් සිදුකර ලංකාවේ වන වගාව ඉහළ දැමීමේ ක්‍රියාවලියට උපයෝගී කර ගන්නා ලෙස කාරක සභාව උපදෙස් දෙන ලදී.
වැලිකඩ බන්ධනාගාරය ප්‍රතිස්ථාපනය යටතේ දැනට වැලිකඩ පවතින ඉඩමෙහි වටිනාකම රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් නිවැරදිව තක්සේරු කර පවතින ඉඩම බදු දීමෙන් හෝ ටෙන්ඩර් කැඳවා ඉඩම විකිණීමෙන් ලැබෙන මුදලින් හොරණ යෝජිත ඉඩමෙහි බන්ධනාගාරය වඩාත් ඉඩ පහසුකම් සහිතව අනුමත මිනුම් යටතේ ස්ථානගත කිරීමට කටයුතු කරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දෙන ලදී.
මෙමඟින් අදාල ව්‍යාපෘතිය සඳහා රජයේ මුදල් වැය නොකර ලැබෙන ආයෝජනය තුලින් වියදම පියවාගත හැකි බව කාරක සභාව අවධාරණය කරන ලදී. එසේම වැලිකඩ බන්ධනාගාරය ප්‍රතිස්ථාපනය කිරීමෙන් රජය බලාපොරොත්තු වන්නේ වැඩි වටිනාකමින් යුතු වැලිකඩ ඉඩම වෙනත් ඵලදායී ආයෝජන කටයුත්තක් සඳහා යොදාගෙන එසේ ලැබෙන අධික මුදලින් වඩාත් ඉඩ පහසුකම් සහිතව බන්ධනාගාරය යළි ස්ථාපිත කිරීම බව ද කාරක සභාව අවධාරණය කරන ලදී.
සලකා බලන ලද කරුණු අනුව, ව්‍යාපෘති අතරමඟ නැවතීම සඳහා සම්බන්ධවන ආයතන අතර මනා සහයෝගයක් හෝ එකඟතාවයක් නොමැතිවීම ප්‍රධානම හේතුව බව කාරක සභාව අවධාරණය කරන ලදී. එසේම පවතින සීමිත සම්පත් යටතේ ව්‍යාපෘති ආරම්භ කිරීමේදී සමාජීය, ආර්ථීක, පාරිසරික බලපෑම් සම්බන්ධයෙන් පුර්ව විශ්ලේෂණයක් සිදු කර වඩාත් වාසිදායක සහ වඩාත්ම වැදගත්වන ක්‍රමවේදය අනුගමනය කළ යුතු බව කාරක සභාවේ නිර්දේශය විය.
කාරක සභාව දුන් උපදෙස් සහ මඟපෙන්වීම අනුව කටයුතු කර සලකා බලන ලද ව්‍යාපෘතිවල කටයුතු සම්බන්ධයෙන් වන ප්‍රගතිය සති 3ක් ඇතුළත කාරක සභාවට දැනුම් දෙන ලෙස ද සහභාගී වු නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
