ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි මිලියන 2500- 3000ත් අතර පවතී. නියඟය, වනසතුන්ගෙන් වන හානි හා වෙනත් වසංගත තත්ත්වයන් නිසා මෙම අස්වැන්නෙහි යම් යම් විචලනයන් සිදුවේ.
එසේ වුවද මෙරට පොල් වගාවට වැඩිම හානිය සිදු කරනුයේ රිළව්, වඳුරන් හා දඬුලේනුන් බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි. ශ්‍රී ලංකාවේ ගොවිජන හා වනසත්ව ගැටුම සම්බන්ධව එම ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව 2022 වසරේ දී ජනවාරි සිට ජුනි දක්වා මාස හයක් තුළ වනසත්ව හානි හේතුවෙන් වැඩිම අස්වැන්න හානියක් සිදු ව තිබෙන්නේ පොල් වගාවටය.
ඒ අනුව මාස හයක් තුළ වඳුරන්, රිළවුන් හා දඬුලේනුන් විසින් විසින් පොල් ගෙඩි මිලියන 93ක් විනාශ කර ඇති බවත් 2022 වසර අවසන් වන විට එම තත්ත්වය පොල් ගෙඩි මිලියන 180- 200 දක්වා ඉහළ ගොස් ඇතැයි ද එම ආයතනය පවසයි.
ගොවි ජන හා වනසත්ව ගැටුම පිළිබඳව නිකුත් කර ඇති වාර්තාවට අනුව පොල් වගාවට රිළවුන්ගෙන් හානි සිදුවු ගොවිජන සංවර්ධන බල ප්‍රදේශ ප්‍රමාණය 200කි, දඬුලේනුන්ගෙන් හානි සිදු වු ගොවි ජන සංවර්ධන බල ප්‍රදේශ ප්‍රමාණය 180ක් හා වඳුරන්ගෙන් හානි සිදු වූ ගොවි ජන බල ප්‍රදේශ ප්‍රමාණය 50ක් වශයෙනුත් වාර්තා වී තිබේ.
ඒ අනුව දිස්ත්‍රික්ක 21ක පොල් වගා හානි බලපෑම් සිදුව ඇති හෙක්ටෙයාර් ප්‍රමාණය හෙක්ටෙයාර් 57,815කි. එම ප්‍රදේශයන් හි පොල් වගා කර ඇති සමස්ත ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර් 275,540ක් වන අතර ඉන් ප්‍රතිශතයක් ලෙස ලෙස සියයට 21ක් වනසත්ව හානියට ලක්ව ඇත.
හානියට පත් පොල් ගෙඩි ප්‍රමාණය අනුව ගත් කළ හෙක්ටෙයාර් එකකට පොල්ගෙඩි 1600- 2000ක් අතර ප්‍රමාණයක් වනසතුන් වීසින් විනාශ කර තිබේ.
පොල් පර්යේෂණ ආයතනය අනුව දිවයිනේ සමස්ත පොල් වගා කර ඇති භූමි ප්‍රමාණය හෙක්ටෙයාර් 440,640කි. ඒ අනුව සත්ව හානි ලක්ව ඇති බවට වාර්තා වන පොල් වගා කළ භූමි ප්‍රමාණයෙන් සියයට 13.1ක් රිළවුන්, දඬුලේනුන් හා වදුරන් විසින් කා දමා විනාශ කර තිබේ.
2022 වසරේ පළමු මාස හය තුළ අප රටේ පොල් වගාවට වනසතුන්ගෙන් වැඩිම හානියක් සිදුව ඇති දිස්ත්‍රික්ක හානිවල ප්‍රමාණය අනුව කුරුණෑගල, පුත්තලම, රත්නපුර, කෑගල්ල, හා මොනරාගල ප්‍රධානත්වයක් ගනී.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගා හානි සිදුව ඇති වපසරිය හෙක්ටෙයාර් 24,038කි. ඉන් රටට අහිමිව ඇති පොල් ගෙඩි ප්‍රමාණය මිලියන 42කි. පුත්තලම පොල්ගෙඩි මිලියන 13ක්, රත්නපුර පොල් ගෙඩි මිලියන 11ක් , කෑගල්ල පොල් ගෙඩි මිලියන 04ක් මොනරාගල පොල් ගෙඩි මිලියන 03ක් වේ.
වනසතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි අවම කර ගැනීම සඳහා ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන පාර්ශ්ව වෙතින් අදහස් යෝජනා ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් ලබා ගැනීමට කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍යාංශ දෙකෙහි ලේකම්වරුන්ගේ හා වනජීවි හා වනසංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.
ඒ අනුව වනසතුන්ගෙන් සිදුවන බෝග හානි වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සියලු පාර්ශ්වවල සහභාගිත්වයෙන් මේ වනවිට පුළුල් ලෙස සාකච්ඡා ආරම්භ කර තිබේ. ඒකාබද්ධ කමිටුවක් වශයෙන් මෙම ගැටළුව සම්බන්ධව උනන්දුවක් දක්වන සියලු පාර්ශ්ව සමග විසඳුම් ලබා ගැනීමට මේ වනවිට කටයුතු යොදා ඇත.