රිළවුන් විසින් සිදු කරන හානිය නිසා මෙරට බොහෝ ප්‍රදේශවල කිතුල් කර්මාන්තය මුළුමනින්ම විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇතැයි කිතුල් කර්මාන්තකරුවෝ පසුගියදා (12) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිලි කළහ.
12 දිනය පුරාම කෘෂිකර්ම අමාත්‍යවරයා ඇහැලියගොඩ හා රත්නපුර රත්ගඟ ප්‍රදේශවල කිතුල් කර්මාන්තකරුවන්ගේ ගැටළු සම්බන්ධව සොයා බැලීම සඳහා ගම්මාන රැසකට ගියේය.
ඒ සෑම ගමකම කිතුල්කර්මාන්තකරුවෝ කිතූල් කර්මාන්තයට රිළවුන්ගෙන් එල්ල වී ඇති බලපෑම සම්බන්ධව අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කළේය.
තමන් මහත් අසීරුතා මධ්‍යයේ කිතුල් මල් කපා පැණි ලබා ගැනීමට සිදු කරන කටයුතු රිළවුන් විසින් මොහොතකින් විනාශ කරන බවත්, ඇතැම් විට දවසට එක පැණි බෝතලයක් හෝ ලබා ගැනීමට නොහැකි වන පරිදි කපන ලද කිතුල්මල් කඩා දමා ඊට එල්ලා ඇති රා මුට්ටි විනාශ කරන බවත් , රිළවුන් දහස් ගණනක් මේ වනවිට එම ප්‍රදේශවල සැරසරමින් මෙම විනාශය කරන බවත් එම කර්මාන්තකරුවෝ පැවසූහ.
එමනිසා කෙසේ හෝ මෙම විනාශය අවසන් කර දෙන්නැයි ඔවුහු අමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටියේය.
ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කරනු ලබන කිතුල් පැණි, කිතුල් හකුරු හා කිතුල් රා මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, ඩුබායි, ස්විට්සර්ලන්තය හා උතුරු කොරියාව ඇතුළු රටවල් හතරකට අපනයනය කරනු ලබයි. මේ වනවිට රටේ සමස්ත කිතුල් කර්මාන්තය තුළින් මෙරටට ලැබෙන ආදායම රුපියල් මිලියන 50,000කට අධික වේ.
රිළවුන්ගෙන් සිදුවන හානිය සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ චීනයේ පුද්ගලික සමාගමක් විසීන් ඔවුන්ගේ සත්වෝද්‍යාන සඳහා මෙරට රිළවුන් ලබා දෙන ලෙස ඉල්ලිමක් කර ඇති බවයි. නමුත් ඊට ඇතැම් පරිසර සංවිධාන දැක්වූ විරෝධය නිසා තාවකාලිකව එම වැඩ පිළිවෙළ නැවතී ඇතත්, පවතින නෛතික කටයුතු විසදා ගැනීමෙන් අනතුරුව එම වැඩ පිළිවෙළ යළි අරඹන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
"රිළවුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස අපි පරිසර හා සත්ව සුබසාධන සංවිධානවලින් ඉල්ලීමක් කළා. ඔවුන්ගෙන් සමහරක් දුන් විසඳුම් තමයි වගාවන් වට කර සාරි එල්ලීම, රිළවුන් වඳ සැත්කම්වලට ලක් කිරීම, උපත් පාලන ක්‍රම හඳුන්වා දීම වගේ දේවල්. ඒ වගේම සමහරු කිව්වා ගොවීන් වගා කරන සෑම ගොවිපළකින්ම අක්කර භාගයක් රිළවුන්ට කෑම සඳහා වෙන් කරන්න කියළා.
මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි දේවල් නොවෙයි. නමුත් අද මුළු රටේම විවිධ වගාවන්ට රිළවුන්ගෙන් එල්ල වී ඇති තර්ජනය දෙස බලන විට තව ටික කාලයකින් මිනිස්සුන්ට පාරට බහින්න බැරි තත්ත්වයක් උද්ගත වේවි. ඒ නිසා මෙම ගැටළුවට කුමක් හෝ විසඳුමක් ලබා දීමට කටයුතු කරනවා. රිළවුන් චීනයට යවන්න අපිටඅපිට බලයක් නෑ.
චීන සමාගමක් විසින් කළ ඉල්ලිමක් ක්‍රියාත්මක කළ හැකිද යන්න සොයා බැලීමට කමිටුවක් පත් කළ යුතු වෙනවා. තීරණය ගත යුතු වන්නේ එම කමිටුවේ නිර්දේශ මතයි. කොහොම නමුත් මෙම ගැටළුවට විසඳුමක් සෙවිය යුතුමයි. අවසාන විසඳුම වන්නේ අනික් රටවල් කරනවා වාගේ මරා දැමීම විය හැකියි. නමුත් එසේ කරනවාට වඩා ලෝකයේ සමහර රටවල් විසින් ඔවුන්ගේ සත්වෝද්‍යානවලට ලබා දෙන ලෙස කර ඇති ඉල්ලීම ඉටු කිරීමට හැකිවුවහොත් අපේ රිළවුන්ගේ ජීවිත හානියක් සිදුවන්නේ නැහැ.
වාර්ෂිකව රිළවුන් ගෙන් සිදුවන හානිය නිසා මෙරට වගාවන්වල හානියේ වටිනාකම රුපියල් මිලියන 31,000 ඉක්මවන බව කරන ලද ඇස්තමේන්තුවලින් අනාවරණය වෙනවා. කොහොම වුනත් රිළාගහනය පාලනය කරන්න යම් වැඩ පිළිවෙළක් අපිට රජය වශයෙන් අනුගමනය කරන්න සිදුවෙනවා. එම වැඩ පිලිවෙළ අපි ඉක්මනින් ක්‍රියාත්මක කරනවා" යැයි ද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.
