රැකියා සඳහා විදෙස් ගතවූ ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවයි
2025 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර, අද දින (2025.12.19) වන විට එම ප්‍රමාණය 300,191 ක් වේ.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසර තුළදී ලාංකිකයින් ලක්ෂ 3ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගතකිරීමේ ඉලක්කයක සිට කටයුතු කරන ලද අතර, රජය විසින් විදේශ රැකියා ක්ෂේත්රයේ ගත් සාධනීය තීරණ, රැකියා අපේක්ෂිතයින් තුළ විශ්වාසය ගොඩනැගීම, වෘත්තිය රැකියා සඳහා යොමුකිරීම වෙනුවෙන් සිදුකළ දැනුවත් කිරීම් ඉහළ යාම, සුභසාධන පහසුකම් ඉහළ නැංවිම, විගමණික ප්‍රජාවගේ ආර්ථිකය ඉහල නැංවීමට ව්‍යවසායකත්ව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වැනි හේතූන් නිසා මෙම ඉලක්කය වසර අවසානවීමටත් පෙර සපුරා ගැනීමට හැකිවිය.
පසුගිය වසර 10 ක කාලයකදී ශ්‍රමිකයින් ලක්ෂ 3ක ප්‍රමාණය ඉක්මවා ගිය තෙවන අවස්ථාව මෙය වන අතර, මීට පෙර 2024 වර්ෂයේදී ශ්‍රමිකයින් 314,673 ක් රැකියා සඳහා විදේශ ගතවී තිබේ.
2025 වර්ෂය තුළදී පිරිමි ශ්‍රමිකයින් 184,085 හා කාන්තාවන් 116,106 ක් රැකියා සඳහා විදේශ ගතවී තිබේ. මෙම කාලය තුළ ස්වයං මාර්ගයෙන් විදේශ ගතවූ ප්‍රමාණය 194,982 ක් වන අතර, විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් 105,209 දෙනෙකු විදේශ ගතවී තිබේ.
ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 75,200 කි. දෙවනුව වැඩි වශයෙන් විදේශ ගතවී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 57,037 කි.
කාර්යාංශයේ සංඛ්‍යාලේඛන අනුව පෙනි යන වැදගත් කරුණක් වනුයේ පෙර වර්ෂවලට සාපේක්ෂව දකුණු කොරියාව, ඊශ්‍රායලය, රුමේනියාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව හා ජපානය වැනි රටවල රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුවීමේ වැඩි නැඹුරුවක් පෙන්නුම් කිරිමයි. ඒ අනුව 2025 වර්ෂය තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ලාංකිකයින් 6,272 දෙනෙකුද, ඊශ්‍රායලයේ රැකියා සඳහා 12,728 දෙනෙකුද, රුමේනියාවේ රැකියා සඳහා 12,180 දෙනෙකු හා ජපානයේ රැකියා සඳහා ලාංකිකයින් 10,717 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.
2025 වර්ෂයේ ගතවූ මාස 11 කාලය තුළ විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් ඇමරිකානු ඩොලර් බිලියන 7.19 ක මුදලක් මෙරටට හිමිවී ඇති අතර, 2025 නොවැම්බර් මාසය තුළ පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 673.4 ක මුදලක් මෙරටට ලැබී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

