රාජ්‍ය සේවය ඉතා විශාලයි. ජනතාවගේ සෑම අවශ්‍යතාවයකටම රාජ්‍ය සේවකයෙකුගේ මැදිහත් වීම සිදු වේ. එම නිසා සියලුම රාජ්‍ය ආයතන වෙතින් නිසි අයුරින් ජනතා සේවය ඉටුවනු දැකීමතම බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරය වැඩ කිරීමට කැමතියි. අවශ්‍යව ඇත්තේ අධීක්ෂණය, උපදෙස් දීම සහ දිරිගැන්වීම මගින් ඔවුන්ගේ සේවය රටට ඵලදායීව ලබාගැනීමයි. ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ, පළාත් හා දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සියලුම ඉහළ නිලධාරීන් ඒ සඳහා පෞද්ගලිකව මැදිහත්ව නායකත්වය දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
රජයේ ඉදිරි සැලසුම් පිළිබඳ දැනුවත් කිරීමට අද (23) පෙරවරුවේ රාජ්‍ය නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
තමා රාජ්‍ය ආයතන වෙත පෞද්ගලිකවම ගොස් අධීක්ෂණය කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද තමන් යටතේ ඇති ආයතන වෙත ගොස් අවශ්‍යතා සපුරාලමින්, සියලු සේවකයන් දිරිගන්වමින් ඉහළ අධීක්ෂණයක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළේය.
අප ඉන්නේ ජනතාව ජීවත් කරවීමටයි. ඊට පරිසරය සැකසිය යුතුයි. එහිදී නිලධාරීන්ගේ යුතුකම, වගකීම සහ මානුෂිකත්වය ද ඉතා වැදගත් බව ජනාධිපතිවරයා පැවසීය.
සේවා ඉටු කිරීමේ දී මධ්‍යම රජය සහ පළාත් සභාව යටතේ ඇති ආයතන ක්‍රියාත්මක විය යුත්තේ එකම රාජ්‍ය ප්රතිපත්තියක බව ජනාධිපතිවරයා විසින් අවධාරණය කෙරිණ.
හරිත කෘෂිකර්මාන්තය රජයේ ප්‍රධාන වැඩපිළිවෙළකි. 75%කට වඩා වූ ග්‍රාමීය ජනතාවගෙන් 90%ක් කෘෂිකර්මාන්තයේ හෝ ඒ ආශ්රිත ජීවිකාවක නිරත වෙති. කාබනික වගාව අනාගත පරපුරේ යහපත් සෞඛ්‍ය වෙනුවෙනි. ඒ බව ඔවුන් දැනුවත් හා දිරිමත් කර, විශ්වාසය ගොඩනැගිය යුතුය. නිසි වේලාවට ප්‍රමිතියෙන් යුත් අදාළ කාබනික පොහොර බෙදා දීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
වැඩිවන විදුලි අවශ්‍යතාව සපුරාලීමට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් දායක කරගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා වූ කෙටි හා දිගුකාලීන රජයේ ඉලක්ක සපුරා ගැනීමට සහාය වන ලෙස ඉල්ලා සිටියේය.
දේශීය ආර්ථිකය ස්වයංපෝෂිත වැඩපිළිවෙළක් මගින් කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
