නැගෙනහිර පළාතේ සෞඛ්‍ය සංවර්ධනය උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙල යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ආයතන තුළින් ජනතාවට ලබාදෙන සෞඛ්‍ය සේවාවන් පිළිබඳ විශේෂ සාකච්ජාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අම්පාර දිස්ත්‍රික්කයේ සියලු සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ දී පැවැත්විණි.
මෙහි දී නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ මහ රෝහලක්, මූලික රෝහල් 02 ක්, ප්‍රාදේශීය රෝහල් 07 ක්, ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක 18 ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 07 කින් යුක්තව 800,000 ක පමණ ජනතාවක් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා සැපයුම් පද්ධතිය පිළිබඳව මෙන්ම සංවර්ධන ව්‍යාපෘති වල වත්මන් තත්ත්වය, ඉදිරි සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙල, දිස්ත්‍රික්කයේ උද්ගතව ඇති ප්‍රධාන සෞඛ්‍ය ගැටළු, මුල්‍ය කළමනාකරණය, රසායනාගාර සේවා පද්ධතිය විධිමත් කිරිම, ජනතාවට පහසු ක්‍රමවේද ඔස්සේ ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක කිරිම, ඉදිරි අභියෝග, මානව හා භෞතික සම්පත් සංවර්ධනය, ඖෂධ කළමණාකරණය, වෛද්‍ය උපකරණ අළුත්වැඩියාව, ක්ෂේත්‍ර රාජකාරී ගැටළු සහ ප්‍රවාහන අවශ්‍යතා, පෝෂණ ගැටළු සහ පෝෂණ මාසයේ දත්ත, මාතෘ මරණ සහ වයස අවුරුදු පහට අඩු මරණ, එන්නත්කරණ වැඩපිළිවෙල, බෝනොවන රෝග පාලන වැඩපිළිවෙල, කල් ඉකුත් වූ ඖෂධ බැහැර කිරීම සහ සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ වැඩපිළිවෙල ඇතුළු තවත් කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කරන ලදී.
අම්පාර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ප්‍රධානීන් ලෙස දිස්ත්‍රික්කයේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදිම සඳහා තීන්දු තීරණ ගත යුතු බවත්, තමන්ගේ පළාත, දිස්ත්‍රික්කය සහ ජනගහනය පිළිබඳව ආයතනික මට්ටමින් නොව සමස්තයක් ලෙස සිතමින් සෞඛ්‍ය සේවා දියුණූ කිරීමේ යෝජනා ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර, සෞඛ්‍ය කාර්ය මණ්ඩල රෝගී සත්කාර වෙනුවෙන්ම යෙදවීමට වගබලා ගන්නා ලෙසත් අඩුපාඩු පැවැතිය ද සෞඛ්‍ය සේවා කඩාවැටීමකට ඉඩ නොදී පවත්වාගෙනයාමට මුලිකත්වය ගැනීම පිළිබඳව සිය ප්‍රණාමය පුද කරන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.
මේ වන විට සමස්ත රාජ්‍ය සේවයට 70,000 ක් බඳවා ගැනීමට අනුමැතිය ලබාගෙන ඇති බවත්, එහිදී සෞඛ්‍ය සේවාවට ද සැලකිය යුතු ප්‍රතිශතයක් වන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදි.
සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් ශක්තිමත් කරමින් ඉදිරියේ දී හෙද සේවාවේ බඳවා ගැනීම් සහ නව පත්වීම් ලබාදීම් සිදු කරන බවත් එහිදී අවශ්‍යතාවය අනුව වැඩි පිරිසක් උතුරු නැගෙනහිර පළාත් වලට ලබාදීමට අදහස් කරන බව ද පසුගිය කාලයේ වැරදි පත්වීම් ලබාදීමේ ක්‍රමවේදය නිවැරදි කරමින් නව වැඩපිළිවෙලක් යටතේ සෞඛ්‍ය කාර්ය සහායකයින් 1900 ඉදිරි මාස 02 තුළ බඳවා ගැනීමට කටයුතු කෙරෙන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.
එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්රයේ ක්ෂේත්‍ර රාජකාරි වල නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා යතුරු පැදි ලබාදීමේ වැඩපිළිවෙල ලබන අප්‍රේල් මස වන විට ආරම්භ කළ හැකි වනු ඇති බව ද පැවැසීය.
ඉදිරි වසර දෙක තුළ රෝහල්වල ඉදිකිරීම් ආරම්භ කර අතරමඟ වැඩ නවතා ඇති සංවර්ධන ව්‍යාපෘති අවසන් කිරිම සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන බවත්, ඒ සඳහා රුපියල් බිලියන 45 ක මුදලක් අවශ්‍ය වන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.