ත්රී රෝද රථයක් සිය යතුරුපැදියේ ගැටී අලාභානි සිදු වූයේ යැයි පවසා ත්රී රෝද රථ රියදුරෙකු සහ තවත් පුද්ගලයෙකු පැහැරගෙන ගොස් රුපියල් 21,990 ක් මුදලක් බලෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්ය බුද්ධි සේවයේ කොස්තාපල්වරයෙකු මට්ටක්කුලිය පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකාර පොලිස් කොස්තාපල් සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මට්ටක්කුලිය රාසමුල්ල කන්ද ප්රදේශයේදී ඉකුත් (6 දා) දින මාර්ගයේ ගමන් ගත් ත්රීරෝද රථයක් පොලිස් කොස්තාපල්වරයා පැදවූ යතුරුපැදියේ ගැටී ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් සිය යතුරුපැදියට අලාභානි සිදුවී ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් 50,000ක වන්දි මුදලක් ලබා දෙන ලෙසට කොස්තාපල්වරයා ත්රීරෝද රථ රියදුරුගෙන් ඉල්ලා ඇතැයි පොලිසිය සඳහන් කරයි.
එතරම් මුදලක් ලබා දීමට හැකියාවක් නොමැති බවට ත්රී රෝද රථ රියදුරු දැනුම් දීමෙන් අනතුරුව, උරණ වූ සැකකාර පොලිස් කොස්තාපල් ඔහු සමග යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයා සමග එක්වී එම ත්රී රෝද රථයේම නැගී, ත්රිරෝද රථ රියදුරු සහ, සිද්ධිය වන අවස්ථාවේ එම ත්රී රෝද රථයේ ගමන් ගත් ත්රී රෝද රථ රියදුරු ගෙ මිතුරාද පැහැරගෙන ගොස් ඔවුන් බාරයේ තිබූ ඉහත මුදල බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පවසයි
සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශනය සිදුකර පෙරේදා (7දා) සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මට්ටක්කුලිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ඉන්දිකා රාමනායක