වත්මන් රජය විසින් රසායනික පොහොර සම්බන්ධයෙන් පනවා ඇති තහනම සමගි ජන බලවේගය රජයක් යටතේ ඉවත් කරන බවත්, ප්‍රමිතියෙන් යුතු රසායනික පොහොර මෙරටට ආනයනය කර සාධාරණ මිලකට එය ගොවීන්ට ලබාදීමට පියවර ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඒ බව අවධාරණය කර සිටියේ, සමගි ජන බලවේගය ගොවි ප්රකාශනය මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහ නාහිමිවරුන් වෙත පිළිගැන්වීමෙන් අනතුරුව අද (07දා) මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
"අද වනවිට මෙරට ගොවි ජනතාව විශාල අර්බුදයක පැටලී සිටිනවා. සමගිය ගොවිජන ප්රකාශනය අපේ ජනවාරි මස 25වැනිදා ජනගත කළා. ගොවියන් මුහුණදී තිබෙන අර්බුදය නිසා රටම විශාල ආර්ථික අර්බුදයක් කරා ගමන් කරමින් තිබෙනවා. ආණ්ඩුවේ කඩාවැටීම ආරම්භ වුණේ ගොවි ආර්ථිකය කඩාවැටීමත් සමගයි. කෘෂි ආර්ථිකය කඩාවැටෙන කොට රට වැටෙනවා කියන එක මේ ආණ්ඩුව දැනගෙන හිටියේ නැහැ.
මේ පොහොර ගැටලුව නිසා මහ කන්නයේ අස්වැන්න සියයට පනහකින් හැටකින් විතර අඩු වුණා. ඒ සොච්චම් අස්වැන්නත් අද කෘෂි යන්ත්‍රවලට අවශ්‍ය ඉන්ධන නොමැති නිසා ගොවි ජනතාව ලබා ගන්න බැරි වෙලා. අද ගොවියන්ට බැරල් බූලි අරගෙන ඉන්ධන පිරවුම්හල්වල රස්තියාදු වෙන්න වෙලා. ඒවට ඉන්ධන නොදෙන නිසා ගොවියන් තවත් අසරණ වෙලා. ගොයම් කපන මැෂින් රැගෙන ඉන්ධන හල්වලට යන්න පුළුවන්ද. මේ ප්‍රශ්නවලට රජය පිළිතුරු සැපයිය යුතුයි"
