මහ බැංකු බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට චෝදනා කරමින් නීතීපතිවරයා පවරා ඇති නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට අභියාචනාධිකරණය අද (28) තීරණය කළේය.
නීතීපතිවරයා තමන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පවරා ඇති නඩුව පවරා පවත්වාගෙන යෑමට හැකියාවක් නැතැයි සඳහන් කරමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් පිළිගැනීමෙන් අනතුරුව එලෙස තීරණය කළ අභියාචනාධිකරණය මෙම නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට රිට් ආඥාවක්ද නිකුත් කළේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන් හමුවේ පෙත්සම සළකා බලන ලදී.
2015 මාර්තු මස 29 සහ 31 වැනිදා පැවති රජයේ බැදුම්කර නිකුතුවකදී රජයට පාඩු සිදුකරන ලදැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු පිරිසකට එරෙහිව නීතීපතිවරයා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩු පවරන ලදී.
ඊට එරෙහිව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබීය.