ශ්‍රී ලංකාවේ ස්වාභාවික වනවැස්ම 2025 වනවිට සියයට 30ක් දක්වා ඉහළ නැංවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයේ අන්තර්ගත කර තිබේ.
ඒ අනුව මේ වනවිට සියයට 29.2ක් වන ශ්‍රී ලංකාවේ ස්වාභාවික වන වැස්ම සියයට 30 දක්වා ඉහළ දැමීමට නම් තවත් දශම 08කින් එය ඉහළ නැංවිය යුතුය. ඒ සඳහා වගා කළ යුතු ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර් 65,000ක් යැයි ගණන් බලා තිබේ. ලෝකයේ බොහෝ රටවල වන වැස්ම සඳහා එම රටවල රබර් වගාව ද ඇතුළත් කර ඇතත් මේ වන තෙක් අපේ රටේ රබර් වගාව වන වැස්මට අදාළ කර ගණන් ගැනීමක් සිදු කර නැත.
එමනිසා ඉදිරියේ දී අපේ රටේ රබර් වගාව ද වන වැස්මට ඇතුළත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇති අතර එම වැඩ පිළිවෙළ කඩිනම් කරන ලෙස තමන් නිලධාරින්ට උපදෙස් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙම වැඩ පිළිවෙළ යටතේ පරිසර අමාත්‍යාංශය විසින් 2022 වසර තුළ හෙක්ටෙයාර් 500ක රබර් වගා කිරීමට නියමිතය.
ඒ අනුව පළමු අදියර සඳහා මේ වනවිට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 100කි. අප රටේ මේ වනවිට වගා කර ඇති රබර් ප්‍රමාණය හෙක්ටෙයාර් 1,36,000ක් පමණ වේ. නමුත් මෙම බිම් ප්‍රමාණය මෙතෙක් වනවැස්මට අයත් සේ සළකා නැත.
ඉදිරියේ දී ශාක රෝපණය කරන විට මහජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට ඉවහල්වන හා ඵල දරණ ශාක රෝපණයට මූලිකත්වය ලබා දීමට පරිසර අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත. ඵල නොදරන රුක් රෝපණය සඳහා ජනතාව මැලිකමක් දක්වති. ඊට හේතුව තමන්ට අයිති සීමිත ඉඩම් ප්‍රමාණයක වුවද ආර්ථික වටිනාකමක් සහිත ශාක රෝපණය ඔවුන්ගේ අභිලාෂය වීමයි.
එමනිසා මෙම හෙක්ටෙයාර් 500ක රබර් වගාව ආරම්භ කිරීම මගින් ජනතාවගේ ජීවනෝපාය සංවර්ධන වැඩ පිළිවෙළක් වශයෙන් මෙන්ම වන වැස්ම ඉහළ නැංවීම යන අරමුණු පෙරදැරිව ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (19) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක දීය.