රජයේ සේවිකාවක් වන තම බිරිඳට අයත් යතුරුපැදියෙන් ගොස් කාන්තාවන් ගෙල බැඳි රන් මාල කොල්ල කෑ පුද්ගලයෙකු ඇතුළු සැකකරුවන් දෙදෙනකු රන්මාල හයක් සමග ඊයේ (4දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර තන්නායම්කුලම ප්රදේශයේ පදිංචිව සිටි දිවයිනේ නමගිය අපරාධකරුවන් දෙදෙනෙකු බව පොලීසිය කියයි.
සැකකරුවන් දෙදෙනා විසින් යතුරුපැදිවලින් ගමන් ගන්නා සහ වෙළෙඳ සැල්වල වෙළඳාමේ නිරත කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කීපයක් කොල්ලකෑම සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරුවන් විසින් ඇලයාපත්තුව, මිහින්තලේ පරසන්ගස්වැව, අනුරාධපුර නගරය අවට මෙම සොරකම් සිදුකර ඇතැයි පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් විසින් පැහැර ගන්නා ලද ලක්ෂ හයකට ආසන්න වෙළෙඳපොළ වටිනාකමකින් යුත් රන් මාල සහ පෙන්ඩන් විවිධ ස්ථාන වලට උකස් කර තිබියදී සොයා ගත් බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.