නාවලපිටිය සුපිරි වෙළද සංකීරණයේ දෙවන මහලේ පවත්වා ගෙන යනු ලබන රන්භාණ්ඩ අලවිය හා රන් උකස් මධ්‍යස්ථානයක් බිඳ ලක්ෂ 35කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ හා උපකරණ සොරාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මහතා පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය පොලිසියේ ලියාපදිංචි අපරාධකරුවන්ගේ නාම ලේඛනයට ඇතුළත් සැකකරුවෙකි.
නාවලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ මල් ශාලාවක රියදුරුකු වශයෙන් රැකියාව කර ඇති මෙම සැකකරු, මත්ද්‍රව්‍ය හා මුදලට ඔට්ටු දැමීම (රේස් බයි) සඳහා තදින් ඇබ්බැහි වූවකු බවයි පොලිසිය කියා සිටියේ.
නිකිණි පොහොය දින අලුයම් කාලයේ සැකකරු අදාළ රන් භාණ්ඩ වෙළඳසැල බිඳ එහි තිබූ රන්භාණ්ඩ, නවීන පන්නේ ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිගණකයක් ඇතුළු ලක්ෂ 35කට ආසන්න වටිනාකමකින් යුත් විද්‍යුත් භාණ්ඩ සහ රන් භාණ්ඩ සොරාගෙන නාවලපිටිය හෝල්ගම ප්‍රදේශයේ පදිංචි ඔහු සමග මල්ශාලාවේ රැකියාවේ නියුතු මිතුරකුගේ නිවසට ගොස් අනතුරුව එම මිතුරා සමග ආපසු වෙළදසැල වෙත පැමිණ එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත ගබඩාව ගලවා රැගෙන ගොස් නාවලපිටිය බව්වාගම ප්‍රදේශයේදි මහවැලි ගගට විසිකර ඇත.
පසුව සැකකරුවන් තවත් මල්ලන්ද ප්‍රදේශයේ පදිංචි මිතුරෙකු සමග එකතුව සොරාගන්නා ලද රන් භාණ්ඩ කහට ගස් දිගිලිය ,මිහින්තලේ, මහනුවර, ගම්පොළ, ගිනිගත්හේන සහ නාවලපිටිය යන නගරවල පිහිටි උකස් මධ්‍යස්ථානවල උකස් කර මුදල් ලබාගෙන තිබුණි.
ප්‍රධාන සැකකරු විසින් එසේ ලබා ගත් මුදල්වලින් සැකකරුවන් ලක්ෂ 5ක් පමණ වටිනාකමින් යුතු භාවිත කරන ලද යතුරුපැදියක් ද මිලදීගෙන ඇත.එසේම ලබාගත් මුදල්වලින් අනිකුත් සැකකරුවන් දෙදෙනාට ප්‍රධාන සැකකරු මුදල් ලබාදී ඉතිරි මුදල් වලින් මත්පැන් පානය කිරීම, සම්බානන මධ්‍යස්ථානවලට යෑම සහ ඔහුගේ අනියම් බිරිඳට මුදල් ලබාදී ඇති බව පොලිසිය විසින් සිදු කරන ලද මූලික පරික්ෂණවලදී අනාවරණය වි ඇත.
මෙම සොරකම සමබන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබීමත් සමග සිදු කරන ලද පුළුල් විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් හඳුනා ගැනීමට හැකි වූ බවත්, පසුගිය මාස තුන තුළ නාවලපිටිය නගරයේ කෝවිල් ඇතුළු පූජනීය ස්ථානය වෙළඳසල් සහ නිවාස බිඳ සොරකම් කිරීමේ සිද්ධීන් ගණණාවකට ප්‍රධාන සැකකරු සහ දෙවන සැකකරුගේ සම්බන්ධතාවයක් ඇති බව අනාවරණය වී ඇති බවයි නාවලපිටිය පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති උ.පො.ප. සුරේෂ් ධනවර්දන මහතා කියා සිටියේ.

