කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපල - රත්මලාන සිට ජාත්‍යන්තර ගුවන් ගමන් මෙම 29 දා ආරම්භ කරන බව ගුවන් සේවා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පැවසීය. විශේෂයෙන් දකුණු ඉන්දියාව, මාලේ වැනි ගුවන් ගමන් රත්මලාන කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිතය.
රත්මලාන ගුවන්තොටුපල සංවර්ධනය පිළිබදව ගුවන් සේවා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.මෙම සාකච්ඡාව සදහා අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්ත, ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි,සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස හා අධ්යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම යන මහත්වරු ඇතුළු නිළධාරින් පිරිසක් සහභාගි වූහ.
මේ අනුව ඉන්දියාව සහ මාලදිවයින කේන්ද්‍ර කරගත් කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට ගුවන් සමාගම් දෙකක් මේ වන විටත් කැමැත්ත ඵල කර ඇත. තවත් ගුවන් සමාගම් කීපයක් සමග සාකච්ඡා පවත්වමින් පවතින අතර එම සාකච්ඡාද සුබවාදී බව හෙතෙම පවසයි.
මීට අමතරව ජාත්‍යන්තර වාණිජ සහ ආයතනික ගුවන් ගමන් මෙන්ම පෞද්ගලික ජෙට් මෙහෙයුම් සදහා ද රත්මලාන ගුවන් තොටුපල ඉලක්ක කර ගනිමින් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි. ඉතා ඉහල ආදායම් ලබන පුද්ගලයින් ඉලක්ක කර ගෙන ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා ඒ අනුව කටයුතු කෙරේ. එමෙන්ම පුද්ගලික ගුවන් යානා සදහා තාක්ෂණික නැවතුම් සේවා, ජෙට් ගුවන් යානා සදහා ඉන්ධන පිරවීම් වැනි අවශ්‍යතාවයන් සදහා ද රත්මලාන ගුවන්තොටුපල තුල ඉඩ සැලසීමට නියමිතය.