තෙල් නැව බාන්න ආණ්ඩුවට ඩොලර් මිලියන 36ක් නොමැති නිසා 'වෙස්ට් කෝස්ට්' බලාගාරයේ මෙගාවොට් 300ත් අද සිට අහිමි වන බවත්, විදුලිය අර්බුදය ප්රමුඛ ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව දැන් ගලේ පැහැරූ බළලුන්ගේ තත්ත්වයට පත්ව ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. අද (22දා) පැවැති මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, රට මේ වැටී ඇති හිඟන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති සහ මුදල් ඇමැති වගකිවයුතු බවද සඳහන් කළේය.
"මූල්‍ය අර්බුදය බලශක්ති අර්බුදයක් බවට පෙරළෙන බව අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා. පසුගිය දෙසැම්බර් මාසෙ දි ජලාශ මට්ටම ඉතා හොඳ තත්වයේ තිබුණා. සති 6 ක් එක දිගට පෑව්වොත් විදුලි කප්පාදුවකට යන්න වෙනවා. ඒ වගේම මූල්‍ය අර්බුදය තීව්ර වීම නිසා ඛනිජ තෙල් අර්බුදයකට යන්න වෙනවා කියලා" පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා තවදුරටත් පැවසීය.