කර්මාන්ත හා සේවාස්ථ රැකියා හෙවත් ගෘහස්ථ නොවන රැකියා සඳහා විගමනික ශ්‍රමිකයන් ස්වයං මාර්ගයෙන් (ඒජන්සි ආයතන හරහා නොවන) කාර්යාංශයේ ලියාපදිංචි වීමේදී, අදාල සේවා ගිවිසුම් තානාපති කාර්යාල හරහා සත්‍යාපනය කිරීමේදී අය කරන ගාස්තු සංශෝධනය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.
ඒ අනුව 2025.7.01 දින සිට ක්‍රියාත්මක වු උපදෙස්වලට අනුව එහි සංශෝධන කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කල බවද කාර්යාංශය නිවේදනය කරයි.
ඒ අනුව, එකම සේවා යෝජකයෙක් වෙත මාස 03ක කාලයක් තුළ සේවා ගිවිසුම් 5ක් පමණක් සත්‍යාපනය කරන ලෙස සීමා කරමින් විදේශ රැකියා සඳහා බඳවා ගන්නා රටවල තානාපති කාර්යාල වෙත නිකුත් කරන ලද උපදෙස් පත්‍රිකාව අවලංගු වන අතර, ඒ අනුව ස්වයං ලියාපදිංචි කිරීම් සිදු කරනු ලබයි.
එක් විදේශීය රටක සේවය කරමින් සිට සිය කැමැත්තෙන් වෙනත් විදේශීය රටක නව සේවා යෝජකයෙකු යටතේ නව රැකියාවක් ලබාගැනිමේදි කාර්යාංශ ලියාපදිංචිය ලබා ගැනීමට තානාපති කාර්යාලවලට පැමිණි අවස්ථාවලදී එය නව ලියාපදිංචි කිරීමක් ලෙස සලකා කාර්යාංශ ලියාපදිංචි කිරිමේ ගාස්තුව අය කරන නමුත්,සේවා ගිවිසුම් සත්‍යාපන කිරීමේ ගාස්තුවෙන් නිදහස් කිරීමට මෙම සංශෝධනය මගින් පියවර ගෙන ඇත.
එසේම දැනටමත් විදේශගතව සිටින පුද්ගලයන්ගේ ගෘහස්ත නොවන රැකියා කාණ්ඩ සඳහා තානාපති කාර්යාල මගින් සිදු කරන නව ලියාපදිංචි කිරීම සඳහා කාර්යාංශ ලියාපදිංචි කිරිමේ ගාස්තුව අය කරන අතර සේවා ගිවිසුම සත්‍යාපනය කිරීමේ ගාස්තු අය කිරීමෙන් නිදහස් කෙරේ.
විදේශීය රටක සේවය කරමින් සිට නව සේවා යෝජකයෙකු යටතේ සේවා ගිවිසුම් සහ වීසා බලපත්‍ර සහිතව මෙරටට පැමිණ නැවත විදේශගත වීමේදී නව ලියාපදිංචි කිරීමක් ලෙස සලකා කාර්යාංශ ලියාපදිංචි කිරිමේ ගාස්තුව අය කරන අතර සේවා ගිවිසුම සත්‍යාපනය කිරීමේ ගාස්තු අය කිරීමෙන් නිදහස් කිරීමට මෙම සංශෝධනය මගින් පියවර ගෙන ඇත .
කෙසේ වෙතත්, ජූලි 01 වෙනි දින සිට ක්‍රියාත්මක කරන ලද, ප්‍රථම වරට රැකියා සදහා ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා සේවාස්ථ රැකියා හෙවත් ගෘහස්ථ නොවන රැකියා සඳහා විදේශගත වන ශ්‍රමිකයන්ගේ රැකියා ගිවිසුම් අදාල රටේ තානාපති කාර්යාලය මගින් සත්‍යාපනය කිරීම හා ගාස්තු අයකිරීම සංශෝධන රහිතව ක්‍රියාත්මක කෙරේ.