විදේශගත වන ශ්‍රමිකයන්ගෙන් සියයට 56කගේ අධ්‍යාපන මට්ටම අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පමණක් බව මානව හිමිකම් හා ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ කුරුණෑගල ශාඛාව අනාවරණය කර සිටී. මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ සංක්‍රමණික සේවා ගිවිසුම් පිළිබඳ සිදු කරන ලද සමීක්ෂණයක් මගිනි.
ඉහත කරුණු අනාවරණය වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතිත්වයෙන් පසුගියදා (18දා) පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසද රැස්වීමේදීය.
මැදපෙරදිග රටවලට සංක්‍රමණය වන සංක්‍රමණික ශ්‍රමිකයන්ගෙන් බහුතරයක් පුද්ගලික ආයතන හරහා විදෙස්ගත වන බවත්, එහිදී ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පමණක් වුවද, ඔවුන්ගෙන් සියයට 52 ක ප්‍රතිශතයක් සංක්‍රමණ සේවා ගිවිසුම ඉංග්‍රීසි භාෂාවෙන් අත්සන් කරන අතර අනෙකුත් සංක්‍රමණික ශ්‍රමිකයන් එම ගිවිසුම් අරාබි භාෂාවෙන් අත්සන් කරන බවත් එහිදී අනාවරණය විය. එබැවින්, විදේශ සංක්‍රමණික ශ්‍රමිකයෙකු එවැනි සංක්‍රමණික සේවා ගිවිසුමක් අත්සන් කරනුයේ ඒ පිළිබඳ නිසි අවබෝධයකින්ද යන්න පිළිබඳ කමිටුවේ අවධානය යොමු විය.
එමෙන්ම, සංක්‍රමණික ශ්‍රමිකයින්ගෙන් සියයට 60 ක් කුවේටයට සහ ඉතිරි පිරිස සෞදි අරාබිය සහ අනෙකුත් මැදපෙරදිග රටවලට සංක්‍රමණය වන අතර, රැකියා සඳහා සංක්‍රමණය වන පිරිසෙන් සියයට 70ක්ම ගෘහ සේවිකාවන් බවද මෙහිදී වැඩිදුරටත් අනාවරණය විය.
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පෙන්වා දුන්නේ විගමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ විගමණික සේවා ගිවිසුමට අදාළව මතුව ඇති කරුණු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළ යුතු බව සහ අදාළ නිලධාරීන් සහ බලධාරීන් එම කමිටුව හමුවට කැඳවිය යුතු බවයි.
මෙම කමිටු රැස්වීමට සංසදයේ ලේකම් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ද එක්ව සිටියාය.
