තලෛමන්නාරම, වැලිපර ආශ්රිත මුහුදු ප්රදේශයේ ඊයේ (27දා) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගත් බව ශ්රී ලංකා නාවික හමුදාව පවසයි.
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත ශ්රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය විසින් ඊයේ (27දා) තලෛමන්නාරම, වැලිපර ආශ්රිත මුහුදු ප්රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, වැලිපරයක සැක කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයින් පිරිසක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කරන ලදී. එහිදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්රමණය වීමට යාත්රාවක් පැමිණෙන තෙක් එම වැලිපරයෙහි රැඳී සිටි බවට සැක කෙරෙන, වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු එක් කාත්තාවක් සහ වයස අවුරුදු 18 ට අඩු තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම සෝදිසි මෙහෙයුමේදි නාවික හමුදා භාරයට ගත් පිරිස වව්නියාව සහ මොරවැව යන ප්රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෛමන්නාරම පොලීසිය වෙත භාර දී ඇත.