රට තුළ නිර්මාණය වී ඇති ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම දුර්වල සහ ඉතා අකාර්යක්ෂම සෞඛ්‍ය පරිපාලනය හේතුවක් බව සඳහන් කරමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මානව හිමිකම් කොමිසම් සභාව හමුවේ ගොනු කොට ඇති පෙත්සම විභාගය සඳහා අද (28) පෙරවරුවේ රැස්ව තිබෙන අතර එහිදී රට තුල හදිසි සෞඛ්‍ය තත්ත්වයක් පවතින බව සෞඛ්‍ය ලේකම්වරයා විසින් පිලිගෙන තිබේ.
මින් පෙර අවස්ථා දෙකකදි කැඳවීම් කලද නොපැමිණි සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ඇතුළු ඖෂධ නියාමන අධිකාරිය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජනය කරන නියෝජිතයන් මෙවර මානව හිමිකම් කොමිසම් සභාව වෙත සහභාගි පැමිණ තිබෙන අතර, ඖෂධ නියාමන අධිකාරිය වෙනුවෙන් හි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත වික්‍රමරත්න ඇතුළු කණ්ඩායමක් පැමිණ සිටියහ.
ඉන් අනතුරුව පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සහ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව යන වෛද්‍යවරුන් විසින් ප්‍රශ්ණ කර ඇත්තේ රට තුළ මේ වනවිට තත්ත්වයෙන් බාල ඖෂධ හදිසි මිලදී ගැනීම් ලෙස සිදු වන්නේ කෙසේද යන්නයි.
එහිදී ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්යක්ෂ විජිත වික්‍රමරත්න ප්‍රකාශ කර ඇත්තේ සෞඛ්‍ය ලේකම්වරයා විසින් රට තුළ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ඇති බව දැනුම්දී ඇති තත්ත්වයක් යටතේ තමන්ට ඒ අන්දමට සාමාන්‍ය මිලදී ගැනීමේ ක්‍රියා පටිපාටියෙන් බැහැරව ගොසින් හදිසි මිලදී ගැනීමට ඒකාධිකාරයක් පවතිනු ඇති බවයි.
එහිදි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව විසින් රට තුළ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ඇතැයි ප්‍රකාශ කර ඇත්තේ කවුරුන්ද යන්න විමසා ඇති අතර එහිදි පිලිතුරු ලබා දෙමින් සෞඛ්‍ය ලේකම් ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විසින් ජනාධිපතිවරයා විසින් රට තුළ හදිසි තත්ත්වයක් ඇති බවට ප්‍රකාශ කර ඇති බවක් පවසා තිබේ.
එහිදි වෛද්‍ය චමල් සංජීව විසින් සෞඛ්‍ය ලේකම්වරයාට පෙන්වා දී ඇත්තේ රට තුල හදිසි තත්ත්වයක් ඇති බවට ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය සහ රට තුල හදිසි ආපදා තත්ත්වයක් ඇති බවට සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ යැයි ඖෂධ නියාමන අධිකාරිය පවසන කරුණ අතර පරස්පරයක් පවතින බවයි.
ඉන් අනතුරුව සෞඛ්‍ය ලේකම්වරයා රට තුළ හදිසි ආපදා සෞඛ්‍ය තත්ත්වයක් ඇති බව පිළිගනු ලැබ ඇති අතර එවන් හදිසි ආපදා තත්ත්වයක් සෞඛ්‍ය සේවයේ ඇති අවස්ථාවකදී සාමාන්‍ය ක්‍රමවේදයෙන් පරිබාහිරව ඖෂධ මිලදී ගැනීමට හැකි බව සෞඛ්‍ය ලේකම්වරයා පෙන්වා දෙනු ලැබූ අතර සෞඛ්‍ය ලේකම්වරයාගේ උපදෙස් පරිදි සාමාන්‍ය ක්‍රියාමාර්ග වලින් පරිබාහිරව ඖෂධ මිලදී ගැනීමට තමන් කටයුතු කරන බව ඖෂධ නියාමන අධිකාරිය වෙනුවෙන් පැමිණි විජිත වික්‍රමරත්න මහතා මෙහිදී පෙන්වා දී තිබේ.
මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිසි මාර්ගෝපදේශනයකින් තොරව අත්‍යවශ්‍ය නොවන ඖෂධ ඉතා විශාල ප්‍රමාණයක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සහ වෙනත් ප්‍රදානයන් යටතේ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මෙහිදී පෙන්වා දී ඇත.
එසේම නිසි ටෙන්ඩර් පටිපාටිය තොරව අසාදු ලේඛන ගත කොට ඇති සමාගම් සඳහා ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවස්ථාව උදා කරමින් සිටින බවද ඔහු මෙහිදී පවසා තිබේ.
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සකස් කොට වසර හතරක් ගත වී ඇතත් මේ දක්වා ක්‍රියාත්මක නොවීම බරපතළ අඩුපාඩුවක් බව පෙන්වා දුන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා එය හැකි ඉක්මනින් බලාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දෙන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ.
මානව හිමිකම් කොමිෂන් සභා මගින් ඉදිරිපත් කළ බොහෝ කරුණු පැහැදිලි කිරීමට සෞඛ්‍ය බලධාරීන් අසමත් වූ බැවින් ඒ සම්බන්ධව නැවත දිනයකදී සාකච්ඡාවක් පැවැත්වීමට මෙහිදි තීරණය වී තිබේ.
තිසර ගංගාදර