රටේ සංසරණය වෙන මුදල් ප්‍රමාණයටත් වඩා මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කොට ඇති බව පෙනී යන බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. මේ රටේ තුන් ගුණයකින් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමට, සල්ලි අච්චු ගැසීමේ ක්‍රියාවලිය පාදක වී තිබෙන බව දැන් රටේ ජනතාව අත්දකිමින් සිටින බවත් අද උද්ධමන අනුපාතය 60% ඉක්මවා ඇති බවත් රණවක මහතා පෙන්වා දෙයි.
අද පාර්ලිමේන්තුව අමතමින් රණවක මහතා ප්‍රකාශ කළේ කෝප් සහ කෝපා කමිටු තවමත් නම් නොකිරීම නිසා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පැවසූ පරිදි ගල් අඟුරු, ඉන්ධන ගෙන්වීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු පිළිබඳව පාර්ලිමේන්තුවේ නීත්‍යානුකූල විමර්ශණයක් සිදු කිරීමේ හැකියාවක් නොමැති බවය.
“සියල්ලට ඉහළින් දැවැන්ත බද්දක් අද මේ රටේ ජනතාවට ලැබිලා තියෙනවා. ඒක තමයි උද්ධමනය. 60% ක තියෙන මේ දැවැන්ත උද්ධමනය එක්තරා ආකාරයක බදු අය කිරීමක්. මේ උද්ධමනය කොහොමද ඇති වුණේ?
ආණ්ඩුවේ අපි ගත්තොත් මහ බැංකුව ආණ්ඩුව වෙනුවෙන් මිලදී තියෙන භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය 2019 දෙසැම්බර් මාසේ මේ ආණ්ඩුව එනකොට තිබුණේ බිලියන 363 යි. අද මේ ප්‍රමාණය මේ අගෝස්තු 31 වෙනිදට ට්‍රිලියන 3.2 ක් (බිලියන 3200 ක්) තරම් විශාල අගයක් අරගෙන තියෙනවා.
එහෙම නම් මේ අවුරුදු දෙකහමාරක කාලය තුළ අඩුම තරමින් සල්ලි අච්චු ගැසුවා යැයි කියලා සැක කරන්න පුළුවන් ප් රමාණය බිලියන තුන් දාහක්. 2019 මේ පාලනය එන අවස්ථාවේදී රටේ සංසරණය වෙච්ච කාසි, නෝට්ටු ඇතුළු වල වටිනාකම ආසන්නයෙන් බිලියන 1500 යි.
අච්චු ගැහුවා නම් එතෙක් කල් මුළු ඉතිහාසය පුරා ම තිබිච්ච කාසි හා නෝට්ටු ප්‍රමාණය බිලියන 1500 යි නම් බිලියන තුන්දාහක් අච්චු ගැහුවා නම් කාටත් පැහැදිලියි භාණ්ඩ ප්‍රමාණය, නිෂ්පාදනය වැඩි වෙන්නැති තත්ත්වය තුළ ඒ මුදල් අච්චු ගැහීමේ ප්‍රතිඵලයක් හැටියට 60% කට අධික වේගයෙන් උද්ධමනය වැඩි වෙලා. කාටත් අත්දැකීමක් අද තියෙනවා.
හාල් සේරුවේ ඉඳන්, පොල් ගෙඩියේ ඉඳන් ඒ වගේම ඩීසල්, පෙට්‍රල් ඉඳන් මේ අවුරුදු දෙකහමාරට භාණ්ඩවල මිල තුන් ගුණයකින් ඉහළ ගිහින් තිබෙන බව. ඒ නිසා එදා හිටපු මහ බැංකු අධිපතිතුමා ප්‍රකාශ කළා, පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් හැටියටත් ප්‍රකාශ කළා. සල්ලි අච්චු ගැහුවට, උද්ධමනයක් එන්නේ නැහැ. මොකක්ද තියෙන සම්බන්ධය කියලා ඇහුවා.
දැන් අපිට ඒක ප්‍රායෝගිකව අත් දකින්න ලැබිලා තියෙනවා. මේ රටේ තුන් ගුණයකින් අපේ භාණ්ඩ මිල ඉහළ යාමට, ඉහළ සේවා මිල ඉහළ යාමට, මේ සල්ලි අච්චු ගැහීමේ ක්‍රියාවලිය පාදක වෙලා තිබෙන බව.
සල්ලි අච්චු ගැහීමේ ක්‍රියාවලිය විසින්, සිදුකරලා තියෙන, අනිත් එක තමයි, රුපියල අවප්‍රමාණය වීම. රට තුළ තියෙන ඩොලර් සංචිත ප්‍රමාණය සීමා සහිත නම්, රුපියල් වැඩිවෙනවා නම්, ඒ ඩොලර් වලට ඒ රුපියල් වලින් ඇතිවන බලපෑම ඉතාම අවමයි. ඒ නිසා ඒ ඩොලරය රුපියල් 180 සිට 365 දක්වා දෙගුණයකින් පමණ බාල්දු වීමටත් මේ සල්ලි අච්චු ගැහීමේ ක්‍රියාවලිය මුල් වුණා. එහෙමනම් අද ජනතාවගේ ජන දුකට ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙන දෙයක් තමයි මේ ඉව බව නැතුව සල්ලි අච්චු ගැසීමේ ක්‍රියාවලිය.
එතකොට මේවට වගකිවයුතු නිලධාරීන්ට නැද්ද මොනම ආකාරයකවත් දඬුවමක්. උද්ඝෝෂණය කරපු දමිතා එහෙම වෙනත් ආකාරයක උද්ඝෝෂකයින්ට දෙන දඬුවම මේ සල්ලි අච්චු ගහලා රටේ මේ අර්බුදය ඇති කරපු නිර්මාණය කරපු හා දේශපාලකයින්ට නැද්ද කියන ගැටලුව අපි ඉදිරියේ තියෙනවා. ඔවුන්ට අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. විශේෂයෙන්ම මහ බැංකුවේ වගකීම ඒක.
උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුවේ උපාය උපාය මාර්ගය පොලී අනුපාතය ඉහළ යැවීම. පොලී අනුපාතය නිල වශයෙන් 14% ට ගෙනල්ලා තියෙනවා. හැබැයි මහ බැංකුවම භාණ්ඩාගාර බිල්පත් 31%-32% ට මිලදී ගන්න. එතකොට අනිවාර්යෙන්ම බැංකුවලට සිද්ධ වෙනවා, අද බැංකු කරගෙන යනවා, 20%-22%-25% ට මුදල් භාරගැනීමේ ක්‍රියාවලියක් යනවා.
දැන් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අර අච්චු ගහපු වෙළඳපොළට දාපු සල්ලි ටික නැවත වතාවක් බැංකු ක්‍රමයට ගැනීම නමුත් 60% ක පමණ තියෙන උද්ධමනයක්, (මිල උද්ධමනය ඊට වඩා වැඩි වෙන්න පුළුවන්) මේ 14% ක පොළියකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක තවත් වැඩි කරන්න වෙනවා. ඒ මුදල් ආපහු ගන්න. නමුත් ඒකේ ප්‍රතිඵලය මොකක්ද? සියයට විසි ගණන් වල පොලියට ව්‍යාපාරිකයන් ව්‍යාපාර කරන්නේ කොහොමද? ඒ අයට අද ව්‍යාපාර කරන්න සිද්ධ වෙලා තියෙන්නේ 30% පොලියට අරගෙන.
එතකොට ඒ ව්‍යාපාර ගොඩනැගෙනවද? නෑ. ඒ නිසා අද සීඝ්රයෙන් ව්‍යාපාරවලට පහර වදිමින් යනවා. පළවෙනි එක ඉන්ධන අර්බුදය, ඉන්ධන අර්බුදය නිසා ව්‍යාපාර වැටෙමින් තිබෙන බව අද ඉන්ධන භාවිතාව, ප්‍රතිශත දිහා බැලුවට පස්සේ පේනවා, ආර්ථිකය කඩා වැටෙන බව. මේ මාර්තු මාස ඩීසල් භාවිතයෙන් තුනෙන් එකයි අද සිද්ධවෙන්නේ.
විදුලි බල ඉල්ලුමෙන් 20% ක් කඩා වැටිලා තියෙනවා. සීඝ්රයෙන් කර්මාන්ත හා සේවා ඇකිලෙමින් යනවා. ඉන්ධන වලට අමතරව දැන් මූල්‍ය ක්ෂේත්රයේ අධික විදිහට පොලී ඉහළ යෑම නිසා ඒවා ආපසු ගෙවා ගැනීමට නොහැකි වෙනවා. අද අපි ගත්තොත් ඉදිකිරීම් ක්ෂේත්රයේ හය ලක්ෂයකට අධික පිරිසකට රැකියා අහිමි වෙලා තියෙනවා.
තවත් කර්මාන්ත මේකට එකතු වෙන්න නියමිතයි. 30% - 35% පොලී වලට ව්‍යාපාර කිරීමේ හැකියාවක් මේ රට තුල නෑ. ඒ නිසා අපි නැවතත් ඉල්ලා හිටිනවා මේ පිළිබඳ වගකිවයුත්තන්ට දඬුවම් දිය යුතුයි. මේක කළමනාකරණය කිරීම සඳහා අදටත් කරන්නේ සල්ලි අච්චු ගැහීම. මේ වසර තුළ පමණක් බිලියන 1200 ක් සල්ලි අච්චු ගහලා තියෙනවා. ඒක රටේ මේ අවුරුද්දේ අපේක්ෂිත ආදායම, බදුවලට වඩා වැඩියි. සිද්ධ වෙන්නේ මේ විෂම චක්‍රය තව තවත් වටයකින් ඉදිරියට යාම විතරයි.”