ජිනීවා නුවර පැවැත්වීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයට පෙර, මෙරට වත්මන් ප්‍රගතිය පිළිබඳවදැනුම්වත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පසුගිය 15දා සඳුදා දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී කොළඹ සිටින තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් හමුවිය.
නීතිපති සංජය රාජරත්නම්, විදේශ ලේකම් අරුණි විජේවර්ධන සහ මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.
අමාත්‍ය සබ්රි මහතා මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු වූ ප්රජාතන්ත්රවාදී නිලතල මාරුව ඇතුළුව ශ්‍රී ලංකාවේ වත්මන් ප්රවණතා පිළිබඳව අවධාරණය කළේ ය. ඉහළ ස්ථාවරභාවයක් පිළිබඳව ජනතාව තුළ අදහසක් ඇති කිරීමට හේතු වී ඇති ක්ෂණික අභියෝගවලට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් දැනටමත් දැකගත හැකි ප්‍රගතිය හා සබැඳි ක්ෂේත්‍ර කිහිපයක් ඔහු විසින් මෙහිදී ගෙනහැර දක්වන ලදී. දේශපාලන කටයුතු පිළිබඳව සඳහන් කළ අමාත්‍යවරයා, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ කටයුතු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඵලදායී ලෙස ප්‍රතිෂ්ඨාපනය කෙරෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවද සිහිපත් කළේය. මෙම පියවර මගින් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම, රජයේ විධායක ශාඛා අධීක්ෂණය කිරීම සහ ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වය යනාදිය කෙරෙහි දායකත්වය ලැබෙනු ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදු කිරීම වෙනුවෙන් ලබා ඇති ප්‍රගතිය ද එතුමා මෙහිදී පැහැදිලි කළේය.
ජනතාවගේ ආර්ථික සහ සමාජීය අයිතීන් තහවුරු කිරීම සහ තවදුරටත් විෂමතා ඇතිවීම වැළැක්වීම සඳහා, වත්මන් ආර්ථික තත්ත්වය හේතුවෙන් ජනගහණයේ අවදානමට ලක්විය හැකි අංශ කෙරෙහි ඇති වන අහිතකර බලපෑම් අවම කිරීම සම්බන්ධයෙන් රජය සිය අවධානය යොමු කොට ඇත. කොවිඩ් වසංගතයෙන් පසුව සහ මෑත වසරවලදී මෙරට තුළ පෙර නොවූ විරූ ආකාරයේ තත්ත්වයක් ඇති වුවද, දේශීය ක්‍රියාවලීන් ඔස්සේ මානව හිමිකම් සහ ප්රතිසන්ධාන ක්ෂේත්රය සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.මානව හිමිකම්, යුක්තිය සහ සාධාරණත්වය හා සබැඳි කරුණු සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රගතියක් ලබා ගත හැකි වන පරිදි සම්මුතියක් ගොඩනැගීමේ ක්‍රියාවලියක රජය මේ වන විට නිරතව සිටියි. එළැඹෙන 51 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලය සමඟ ඵලදායී ලෙස කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
