ඉතිහාසය පුරාවටම රටට කුමන ගැටලු පැන නැගුනත් ඒ සෑම අවස්ථාවකදීම මහා සංඝයා වහන්සේලා රට රැක ගත්තා යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ ආචාර්ය මාදුලාවේ සෝභිත නාහිමියන් අපවත් වී වසර හතක් සපිරීම නිමිත්තෙන් උන්වහන්සේගේ ගුණ සිහිකර පැවති උත්සව සභාව අමතමිනි.
මෙම ගුණසමරු උත්සවය කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානයේදී පැවැත්වීනි.
මෙහිදී සෝභිත හිමියන්ගේ පිළිරුවට අග්‍රාමාත්‍යවරයා ,මහා සංඝයා වහන්සේ ඇතුළු පැමිණි පිරිස පුෂ්පෝපහාර දැක්වීය.
අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.
මාදුලාවේ සෝභිත ස්වාමීන් වහන්සේ ජාතිය අවදි කළ, සම්බුද්ධ ශාසනය අවදි කළ මහා සඟ රුවනක් හැටියට ජාතියකට අවශ්‍ය අවස්ථාවකදී ජාතියේ හඬ නඟන්නට උන්වහන්සේ මහා සඟරුවන සමඟ රටට අවශ්‍ය නායකත්වය හැමවිටම ලබා දුන්නා.සත්‍ය වෙනුවෙන්ම පෙනී සිටි එඩිතර බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ හඳුන්වන්න පුළුවන්.
උන්වහන්සේගේම වචනවලින් කියනවා නම් අනුකරණවාදී ලෝකයට පිවිසෙන ඉදිරිය නොදැක්ක සමාජයට අනුකරණවාදයෙන් ඉවත් වී සැබෑවම හරහා රටක් සංවර්ධනය හා යුක්තිය සඳහා ගමන් කරමු කියන අපේ රටේ වැසියන්ට සිහිපත් කරමින් උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.
ආචාර්ය මාදුලාව සෝභිත ස්වාමීන් වහන්සේගේ ගුණානුස්මරණ පිංකමට සමගාමීව ලේ දන්දීමේ දන් දීමේ කඳවුරක් සහ වෛද්‍ය සායනයක් ද පැවැත්විණි.
