රජය විසින් වී මිලදී ගැනීම අඛණ්ඩව සිදු කරන අතර තෙත වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයේ දැනට සම්මත වී තිබෙන පනත අනුව ගන්න ප්‍රතිපාදන නැති බවත් එම 1971/14 දරන පනත ඉදිරියේදී සංශෝධනය කිරිමට කටයුතු කරන බවත් දැනට රජයේ ගබඩාවල වී මෙ. ටො. 26000 කට අධික ප්‍රමාණයක් තිබෙන බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (26දා) කුරුණෑගලදී පැවසීය.
වසර 54 ක් පැරණි පනතක් වර්තමානයට ගැලපෙන ආකාරයට සංශෝධනය කරමින් වසා දමා ඇති සියලු වී ගබඩා ප්‍රතිසංස්කරණය කරන බවද ඔහු කීය. දැනට වී අලෙවි මණ්ඩලයෙහි වී ගබඩා තුන හතරක් බැලීමට ඇත්තේ එක් නිලධාරියෙක් බැවින් එසේ පවතින උග්‍ර සේවක හිඟය ද සම්පූර්ණ කර විධිමත් ආකාරයෙන් ගොවියාගේ පහසුව සඳහා තෙත වී වුවත් මිලදී ගැනීමට කටයුතු කරන බව ඒ මහතා කීය.
දැනට රජය විසින් නාඩු කිලෝවක් රු 120 කටත්, සම්බා රු.125 ටත් කීරි සම්මා රු.132 ටත් මිලදී ගන්නා බවද රතු නාඩු වී කිලෝවක නිෂ්පාදන වියදම රු 78 ක් පමණ වන බැවින් රු 140 - 150 වැනි මිලකට වී මිලදී ගතහොත් සහල් මිල ඉහළ යාමට ඉඩකඩ තිබෙන බවද ඔහු පැවසීය.
දැනට ලංකාවේ වී නිෂ්පාදනය කරන ගොවීන් ලක්ෂ 8 ක් පමණ සිටින අතර බත් කන පිරිස ලක්ෂ 200 ට වැඩි බවත් වී මිල ඉහළ දැමිය යුතු බවට ගොවි ජනතාව උසිගන්වන්නේ එක් එක් දේශපාලන පක්ෂවල අතකොළු බවත් රජය විසින් අඛණ්ඩව වී මිලදී ගන්නේ තුට්ටුවට දෙකට ගොවීන්ගේ වී ටික අතර මැදියන් ලබා ගන්නා නිසා බවත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
කුරුණෑගල- ජනුර් කිචිලාන්