පළාත් සභා ඡන්දය නොපැවැත්වීම නිසා, විශාල මුදල් ප්‍රමාණයක් මහජන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් තොරව පරිහරණය වීම පළාත් සභා මට්ටමින් සිදුවන බවත් එම නිසා ඉක්මනින් මහජන නියෝජිතයන් සිටින ආයතනවලට මුදල් ප්‍රමාණය ලබා දීම වඩාත් යහපත් බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ(30දා) හෝමාගම ගොඩගමදී පැවැති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ කමිටුවේ වාර්තාව ලබා දීමට පළමුව කටයුතු කළ යුතුයි. එය සාකච්ඡාවට ලක් කරනව කියල, ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විවෘත කරපු දවසේ ප්‍රකාශ කළා. අපි බලාපොරොත්තු වෙනවා ව්‍යවස්ථා කෙටුම්පත සාකච්ඡාවට ලක් කිරීමෙන් අනතුරුව ඉදිරි කටයුතු ඒ හරහා සිදු කරන්න.
දැනට කිසිම දෙයක් අහෝසි කරනවද නැද්ද කියන එක කෙටුම්පතේ තියෙනවද නැද්ද කියලවත් අපි දන්නේ නැහැ. නමුත් එකක් කියන්න ඕන, පළාත් සභාවේ ඡන්දය පවත්වා නොමැති නිසා ලංකාවේ විශාල මුදල් ප්‍රමාණයක් මහජන නියෝජිතයෝ සභභාගී නොවී පරිහරණය කිරීම පළාත් සභා මට්ටමේ සිදු වෙනවා. ඒ නිසා ඉක්මනින් මහජන නියෝජිතයන් සිටින ආයතනවලට මුදල් ප්‍රමාණය ලබා දීම තමයි වඩාත් යහපත් දේ බව ඇමතිවරයා පැවසීය.