“රජයේ පත්වීම් ලක්ෂයක් ලබා දීමේ වැඩසටහනේදී පෙර පාසල් ගුරුවරුන්ටත් එහිදී මූලිකත්වයක් දෙන්න තිබුණා. ඒ අපිට වැරැදුනු තැනක්. එහෙම වුණා නම් ගොඩක් වැදගත් වෙනවා. නමුත් මේ වනවිට ඇමතිතුමා කැබිනට් පත්‍රිකාවක් සකස් කරගෙන යනවා පෙර පාසල් ගුරුවරුන් සඳහාත් යම්කිසි දීමනාවක් ලබා දෙන්න. ඉදිරියේදී මේ රටේ පෙර පාසල් ක්ෂේත්රයට එය යහපත් දෙයක් වේවි” යැයි වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
වයඹ පෙර පාසල් ගුරුවරියන් සඳහා විශ්‍රාම පාරිතෝෂිකයක් ලබාදීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ආණ්ඩුකාරවරයා මේ අදහස් ප්‍රකාශ කළේය. කුරුණෑගල සමුපකාර ග්‍රාමීය බැංකු සංගම් ශ්‍රවණාගාරයේදී මෙම උත්සවය පැවැත්විණි .
මෙහිදී සංකේතවත් ලෙස විශ්‍රාම පාරිතෝෂිකය පෙර පාසල් පාලිකාවන් වෙත ප්රදානය කරනු ලැබීය.
“දරුවන් යහමඟට ගෙන එන මූලික කාර්යභාරය ඉටු කරන්නේ පෙර පාසලයි. රටට යහපත් අනාගත පුරවැසියෙකු බිහි කිරීමටනම් දරුවන්ගේ මනස යහපත් වෙන්නට ඕනෑ. සමහර දෙමාපියන් කෲර ලෙස දරුවන්ට සලකන තැන් තියෙනවා. මෙවැනි මානසිකත්වයකින් ගෙදරින් එන දරුවව, කොහොමද ගුරුවරුන් හදන්නෙ. බොහොම පොඩි කාලයයි ගුරුවරයා සමග දරුවන් ඉන්නෙ.
මේ අනුව දෙමාපියන්ටත් විශාල කාර්යභාරයක් තිබෙනවා හොඳ දරුවෙක්ව නිර්මාණය කිරීම සම්බන්ධයෙන්. අද අධ්‍යාපනය පමණක් මුල් කරගෙන බිහිවූ දරුවන් පිරිසක් බිහිවෙමින් පවතින්නේ. නමුත් මේ තත්වය වෙනස් වෙන්නට ඕනෑ. දිගින් දිගටම මේ තත්වය පැවතුනහොත් රටට ලොකූ විනාශයක් වේවි. ඒ වගේම දරුවාට අකුරු උගන්වනවාට වඩා ලොකු දෙයක් පෙර පාසලින් වෙන්නට ඕනෑ. දරුවා නිර්මාණය වෙන්නෙ එතැනින්. මුල ශක්තිමත් කිරීම පෙර පාසල් ගුරුතුමියගේ ප්‍රධානම කාර්යභාරයයි.”
