මෙරට තරුණ තරුණියන්ගේ ඉල්ලීමකට අනුව මීට වසර හතළිහකට පමණ පෙර යෞවන සමාජ ආරම්භ කළ බව හිටපු ජනාධිපති, යෞවන සමාජ ව්‍යාපාරයේ නිර්මාතෘ රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
යෞවන සමාජ ව්‍යාපාරයේ වර්තමානයේ උද්ගතව ඇති ප්‍රශ්න සහගත බව පිළිබඳව අද (10දා) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මේ බව සඳහන් කළ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද සඳහන් කළේය.
“ගමේ යෞවන යෞවනියන්ට එක් රැස්වන ස්ථානයක් විනෝදාංශයට, කලාවට, මෙන්ම වෙනත් වැඩ කටයුතු සඳහා යෞවන සමාජ මාර්ගයෙන් තරුණ දක්ෂතා සහ හැකියා දියුණු කිරීම මා බලාපොරොත්තු වූ මූලික කාරණයයි.ඒ කාරණය බොහෝ සාර්ථක වී තිබෙනවා. මේ වන විට සමාජයේ නොයෙක් ක්ෂේත්‍ර සඳහා තරුණ තරුණියන් සහභාගි වෙනවා.
මේ වසර හතළිහ ඇතුළත යෞවන සමාජ මේ රටේ ප්‍රධාන තරුණ ව්‍යාපාරය බවට පත්ව තිබෙනවා.යෞවන සමාජ වලින් ඉදිරිපත් වූ සමහර අය දේශපාලනයට පැමිණ තිබෙනවා.සමහර අය ව්‍යාපාරවල ඉන්නවා.මේ සියලු දෙනාම ඒ වැඩසටහන ඉදිරියට ගෙන යන්නත් සහාය දෙනවා.
ළඟදී අමාත්‍යවරයා එම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ සංශෝධන පිළිබඳව විශාල ප්‍රශ්නයක් මතු වී තිබෙනවා.හැම තැනකම උද්ඝෝෂණ පැවැත්වෙනවා.
දැනට ජාතික සම්මේලනය පැවැත්වෙනවා. මට ආරංචි හැටියට ඊට පසුවත් උද්ඝෝෂණ පවත්වන්නට යනවා.මෙහෙම ගියොත් යෞවන සමාජ ව්‍යාපාරය පිරිහීමට පත්වේවි.යෞවන සමාජ දේශපාලනීකරණය කිරීම සඳහා අදාළ සංශෝධන ගෙනැවිත් තිබෙන බව උද්ඝෝෂණය කරන අය පවසනවා.මේ ප්රශ්නය දුරදිග ගෙනයන්නේ නැතිව විසඳාගත යුතුයි.
මෙලෙස උද්ඝෝෂණ කරන හිටපු නිලධාරී කණ්ඩායම මෙන්ම දැනට පත්ව සිටින දිස්ත්‍රික් සංවිධානවල නියෝජිතයන් සමග සාකච්ඡා කොට සියලු දෙනා සෑහීමකට පත්වෙන විසැඳුමක් ලබා දෙන්න.
මේ රටේ යෞවන සමාජ දේශපාලනය සඳහා යොදා නොගන්නා බව අප සියලු දෙනාම දැනගත යුතුයි.එය ඇමැතිතුමාටත් මේ කණ්ඩායම් දෙකටත් එකට එකතු වෙලා කරගන්න පුළුවන් වැඩ කටයුත්තක්.එම කාර්යය නොකෙරුණොත් මේ උද්ඝෝෂණ දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වෙනවා.එවිට මේවාට දේශපාලන පක්ෂයත් ඇතුළු වෙන්න පුළුවන්.එහෙම වුණොත් මේ යෞවන සමාජ ව්‍යාපාරය නැති වී යාවි.මට අවශ්‍ය වී තිබෙන්නේ මේ යෞවන සමාජ ව්‍යාපාරය ආරක්ෂා කිරීමයි.මේ කෙටි පණිවිඩය ඔබට ලබා දීමට තීරණය කළේ ඒ නිසයි.”