ඉන්දීය රජය විසින් මෙරටට ලබා දෙන ලද යුරියා පොහොර තොග බෙදාහැරීම මේ වනවිට ඉතාමත් සාර්ථකව සිදු කෙරෙමින් පවතී. රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම විසින් පොහොර බෙදා හරින අයුරු සොයා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (17) වත්තල පිහිටි එම පොහොර සමාගම්වලට අයත් ගබඩා නිරීක්ෂණය කරනු ලැබීය.
ඉන්දීය ණය වැඩ පිළිවෙළක් යටතේ ලබා දෙන ලද පොහොර මෙට්‍රික් ටොන් 65,000න් පළමු තොගය වශයෙන් මෙට්‍රික් ටොන් 44,000ක් පසුගිය සතියේ ශ්‍රී ලංකාවට ලබා දුන්නේය. එහි දෙවන තොගය වන මෙට්‍රික් ටොන් 21,000ක තොගය සහිත නැව ඉදිරි සති දෙක තුළ අප රටට පැමිණීමට නියමිතව තිබේ.
පොහොර බෙදා හැරීමේ දී ප්‍රමාණවත් තරම් ඉන්ධන නොමැතිවීම ගැටලුවක් ව තිබිනි. ඊට අදාල අංශවලට දුරකථනයෙන් කතා කළ අමාත්‍යවරයා අද දින තුළ ම ඩීසල් අවශ්‍ය ප්‍රමාණයන් එවීමට කටයුතු කරන ලෙස දැනුම් දුන්නේය. එමෙන්ම ඉන්ධන බවුසර් 05ක් සඳහා අවශ්‍ය මුදල් හෙට දිනයේ (18) ලංකා ඛනිජ තෙල් සංස්ථාවට තැම්පත් කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
යුරියා පොහොර දිවයින පුරා බෙදා හැරීම් කටයුතුවල දී ලංකා පොහොර සමාගම එම තොගයෙන් සියයට 60ක් ද , කොමර්ශල් පොහොර සමාගම සියයට 40ක් ද බෙදා හරිනු ලබයි. සියලුම දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි පොහොර බෙදාහැරීම සිදු කෙරේ.
සෑම දිස්ත්‍රික්කයකටම එක් දිනක් හෝ ප්‍රමාද නොකර පොහොර බෙදා හැරීමට කටයුතු කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දුන්නේය. වී වගාවේ දී එක් දිනක් හෝ ප්‍රමාදවීම බරපතල ගැටළුවක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම ඉන්දීය රජය විසින් ලබා දුන් පොහොර යොදා ගනිමින් එළවළු වගාව සඳහා මිශ්‍ර පොහොරක් සකස් කිරීමේ කටයුතු ද මේ වනවිට ලංකා පොහොර සමාගම විසින් සිදු කරනු ලබයි. ඒ අනුව ඉදිරියේ දී මෙරට එලවළු වගාව සඳහා සාර්ථක පොහොරක් ලබා දීමට කටයුතු යොදා තිබේ.
ඉන්දීය රජය යටතේ දැනට ලැබීමට නියමිත පොහොර මෙට්‍රික් ටොන් 21,000ක පමණ ප්‍රමාණය 2022 මහ කන්නයේ වී වගාව සඳහා ද යොදා ගැනීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
“මට ඇමැති තනතුරු තිබුනත් නැතත් මට බාර දුන් වගකීම මම ඉටු කළා. යුරියා පොහොර නොමැතිව දුක් විඳි ගොවි ජනතාවට යුරියා පොහොර ලබා දුන්නා. ඒ වගේම ලබන මහ කන්නයේ දී ලෝක බැංකුව හා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් යුරියා පොහොර වගාව සඳහා අවශ්‍ය සම්පුර්ණ ප්‍රමාණයම ලබා දෙනවා. මම කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත්වී මාස එකහමාරයි. එම කාලය තුළ මෙතෙක් ගොවීන්ට විශාල බලපෑමක් එල්ල කළ වගා ණය කපා හැරීමට කටයුතු කළා.
ඒ යටතේ ගොවීන් ලක්ෂ 10ක් පමණ පිරිසක් රාජ්‍ය බැංකු හතරකින් ගෙන තිබු ණය රුපියල් මිලියන 30,000ක් කපා හැර තිබෙනවා.
මම මගේ වගකීම ඉටු කළා. දැන් මම කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ නැති නමුත් මෙම පොහොර බෙදා හැරීමේ කටයුතු හරියට නිසි පරිදි සිදු වෙනවාද යන්න සොයා බැලීම මගේ වගකීමක්.
අද පොහොර බෙදාහැරීමේ කටයුතුවලට ඉන්දන නොමැතිකම ලොකු බාධාවක් වුනා. පොහොර බෙදාහැරීම සඳහා අඩු තරමින් ඩීසල් ලීටර් 125,000ක් අවශ්‍යයි. පොහොර බෙදාහැරීමට ඉදිරියට අවශ්‍ය ඉන්ධන ලබා දීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ බලධාරින් අද මට එකඟතාවය පළ කළා” යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.