කෙරවලපිටිය යුගදනව් බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට හතළිහක් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කර තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වුණි.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ යන අය විසින් එම පෙත්සම ඉදිරිපත් කළේය.
එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, මහජන උපයෝගීතා කොමිසම, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, ලංකා විදුලිබල මණ්ඩලය, අදාළ කොටස් පවරනු ලැබූ අමෙරිකානු එන්.එෆ්.ඊ පවර් හෝල්ඩිං සමාගම, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඇතුළු 43 දෙනෙකු නම් කර තිබේ.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ, අදාළ බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගම වෙත පැවරීමේ දී රජය විසින් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වෙත පවා නිසි කරුණු පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බවය.
අදාළ කොටස් පැවරීමේ ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව රජයේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ද ලබා ගෙන නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය විධිමත් වෙන්ඩර් පටිපාටියකට අනුව සිදු වී නොමැති බවත් චෝදනා කළේය.
එබැවින් අදාළ ගිවිසුමට එළඹීමේ දී රජය විසින් අනුගමනය කළ ක්‍රියා පිළිවෙත තුළ පාරදෘශ්‍යභාවය බරපතළ ලෙස අභියෝගයට ලක්වී තිබෙන බව ඔවුහු චෝදනා කරති.
එබැවින් යුගදනවි බලාගාරයේ අදාළ කොටස් අමෙරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය හා පැවරීමේ ගිවිසුම බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කළ ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා සිටියේය.