වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියැවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වනජීවි හා වන සංරක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟත්වය පසුගියදා (22) හිමිවිය.
කාරක සභාවේ සභාපති වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය ගරු සී.බී රත්නායක සහ රාජ්‍ය අමාත්‍ය ගරු විමලවීර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වනජීවි හා වන සංරක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඊයේ පාර්ලිමේන්තුවේදී රැස්විය. ඒ අනුව මෙම පනත් කෙටුම්පත අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අමාත්‍ය ගරු සී.බී රත්නායක මහතා මෙහිදී පැවසීය.
විදෙස් සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සදහා පරිසර සංචාරක කර්මාන්තය (Eco tourism) දියුණු කිරීමේ අවශ්‍යතාවත්, විශේෂයෙන් වැඩි සංචාරක ආකර්ෂණයක් හිමිවන ශ්‍රී ලංකාවේ දිවියන් පිළිබද සංචාරක අමාත්‍යාංශය සමග එක්ව වඩාත් ආකර්ෂණීය වැඩසටහන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හදුන්වාදීමට ඇති හැකියාව පිළිබඳවත් රැස්වීම සදහා සහභාගී වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
මේ අනුව මේ පිළිබද අවශ්‍ය පියවර ගන්නා ලෙසත් පොළොන්නරුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානයේ දිවියන් පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍ය සී.බී රත්නායක මහතා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
යාල ජාතික වනෝද්‍යානය දිවා කාලයේ පැය දෙකක් වසා තැබීම නිසා දෙස් විදෙස් සංචාරකයන්ට විශාල අපහසුතාවකට මුහුණදීමට සිදුවන බව මන්ත්‍රීවරු මෙහිදී කියා සිටියහ. මේ පිළිබදව අවධානය යොමුකළ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා, නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ දිවා කාලයේ වනෝද්‍යානය වසා තැබෙන මෙම කාල සීමාව පැය දක්වා අඩුකරන ලෙසයි. එසේම වන සතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා උපරිම පියවර ගන්නා ලෙසද නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
එසේම ඉඩම් පවරා ගැනීමේදී ජනතාව ජීවත්වන පාරම්පරික ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට කටයුතු නොකරන ලෙසද අමාත්‍ය සී.බී රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. තවද අලි මිනිස් ගැටුම, අලි වැට ඉදිකිරීම, වනෝද්‍යානවල පවතින ගැටලු ආදී කරුණු රැසක්ද මන්ත්‍රීවරු අමාත්‍යවරයාගේ අවධානය පිණිස යොමු කළහ.
