යල කන්නයේ වී වගා කරන ගොවීන් හයලක්ෂ පනස් දහසකට පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාර වවුචර්පත් නිකුත් කිරීම අද (22) ඇරැඹීමට තීරණය කරයි.
යල කන්නයේ වී වගා කරන ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අවම කිරීමේ අරමුණින් ඔවුන්ට අවශ්‍ය රසායනික හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සහනාධාර වචුචරයක් වශයෙන් ලබා දීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය මත මෙම මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
ඒ අනුව වී වගා කරන හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකක් සඳහා රුපියල් 40,000ක් වශයෙන් සහනාධාර මුදලක් ලබා දීමට කටයුතු යොදා ඇත.
මෙවර පොහොර සහනාධාරය සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 10කි. මෙම මුල්‍ය සහනාධාරය වවුචරයක් වශයෙන් සෑම ගොවියෙකුටම ලබා දීමට තීරණය කර ඇත.
මෙවර යල කන්නයේ වී වගා කරන ගොවීන් හයලක්ෂ පනස් දහසකට මෙම වවුචර්පත් නිකුත් කිරීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන අතර මෙම වවුචර්වලින් ගොවීන්ට රසායනික පොහොර හෝ කාබනික පොහොර පමණක් මිල දී ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
එමෙන්ම ගොවි ජනතාවගේ කැමැත්ත පරිදි රජයේ පොහොර සමාගම් දෙක සපයන රසායනික හෝ කාබනික පොහොර සියලුම ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලින් ද, එමෙන්ම පුද්ගලික අංශය මගින් ද මිල දී ගැනීමට අවස්ථාව ලබා සලසා තිබේ.
මෙම පොහොර සහනාධාර වවුචර්පත් සංකේතාත්මකව නිකුත් කිරීම අච (22) පස්වරු 12.30ට ගොවීන් 25කට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරේ.