විකුණා මුදල් සොයා ගැනීමේ අරමුණින් රුපියල් ලක්ෂ 5කට ආසන්න යතුරු පැදි දෙකක් සොරකම් කළ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඊයේ (24දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර ගුවන්තොටුපල මාර්ගයේ, පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය ආසන්නයේ, ඉසුරුපුර හංදියේ පදිංචිව සිටි වයස අවුරුදු 22 සහ 27 වියේ පසු වන සැකකරුවන් දෙදෙනෙකි.
අනුරාධපුර නගරයේ මංගල ඇදුම් වෙළඳසැලක් පවත්වා ගෙන යන පුද්ගලයෙකුගේ යතුරු පැදියක් සහ වන්නියම් කුලමේ සංගීත ගුරුවරයකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකුගේ යතුරුපැදික් සොරකම් කර ඇති බවට වෙන වෙනම ලැබුණු පැමිණිලි දෙකක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් සිටියදී, මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවූ මෙම එකම පවුලේ අයියා සහ මල්ලී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සොරකම් කරන ලද යතුරු පැදි දෙකේ යතුර, එම යතුරු පැදිවලම තබා යාම සොරකමට පහසුවූ බවත්, ඒවායේ ලියා පදිංචි පොත, යතුරු පැදිය තුළම තිබීම, සොර බඩු විකිණීමට පහසු වන බවත් සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ බවද පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (25දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.