තම සිව් හැවිරිදි පුත්‍රයා සමග යතුරු පැදියක යමින් සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අද (27දා) උදෑසන මාතර වල්පල දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රියේ හැපීමෙන් ජීවිතක්ෂයට පත් වු බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
අනතුරින් බරපතල තුවාල ලැබු ඔහුගේ සිව් හැවිරිදි දරුවා මාතර මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා ගාල්ල කරාපිටිය රජයේ රෝහල වෙත මාරු කර යවනු ලැබීය.
මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස මරුමුවට පත් වූයේ මාතර වෙහරගම්පිට පදිංචිව සිටි ලසන්ත සුදත් හේවා කණ්ඩම්බි (50) නැමැති තිදරු පියෙකි.
ඔහු දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ආරක්ෂාව භාරව පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස දීර්ඝ කාලයක් සේවය කොට පසුව ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස සමරවීර මහතා මිය යන තෙක්ම කටයුතු කර ඇත.
තිදරු පියෙකි වු හිටපු පොලිස් කොස්තාපල්වරු තම 08 හැවිරිදි පුත්‍රයා පඹුරණ ශාරිපුත්‍ර විද්‍යාලයට යතුරුපැදියෙන් ගොස් බස්සවා නැවත සිව් හැවිරිදි පුත්‍රයා සමග නිවසට එන අතරතුරදී මෙම අනතුරට ලක්ව තිබේ.
අදාල දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුවක් නොමැති අතර අනතුරු ඇගවීමේ විදුලි බුබුළු හා නලා සංඥා පමණක් ක්‍රියාත්මක කර ඇත.ඒ හේතුවෙන් මීට පෙරද එම ස්ථානයේ අනතුරු රැසක් සිදු වී තිබෙන බව ප්‍රදේශවාසීන් චෝදනා කරති.
මිය ගිය පුද්ගලයාගේ හදීසී මරණ පරීක්ෂණය මාතර නාගරික හදීසී මරණ පරීක්ෂක ටී එම් ලලිත් ද සිල්වා මහතා ඉදිරියේ දී පැවැත්විණි.
ඒ සඳහා සහභාගී විය යුතු ඔහුගේ බිරිද තුවාල ලැබු දරුවා සිටින ගාල්ල කරාපිටිය රෝහලට ගොස් තිබෙන නිසා මරණ පරීක්ෂණය පසුවට කල් තබා පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව එම සිරුර ඔහුගේ සහෝදරයාට භාර දෙන ලෙසට හදීසී මරණ පරීක්ෂක වරයා පොලීසියට නියෝග කලේය.
මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
ක්‍රිෂාන් ජීවක ජයරුක්
