කැනේඩියානු ඩයස්පෝරා සංවිධානය මෙරට තුළ තහනම් සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ස්තූතිය පළ කරමින් කැනේඩියානු දෙමළ කොංග්‍රසය විසින් නිකුත් කරන ලද ලිපියක් එම සංවිධානයේ නියෝජිත පංචලිංගම් කන්දයියා මහතා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත භාරදීම අද (16දා) පෙරවරුවේ සිදු කෙරිණි.
සාමය සහ සංහිඳියා ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා රජයේ නිවැරදි මගපෙන්වීම පිළිබඳව ප්‍රශංසා කරන අතරම, ශ්‍රී ලාංකීය අනන්‍යතාවය හඳුනාගෙන ගරු කිරීම උදෙසා දීර්ඝ කාලීන සහජීවනයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් කඩිනමින් ගත යුතු පියවර පිළිබඳව ද එහිදී ඔවුන් විසින් අවධාරණය කරන ලදී.
ඩයස්පෝරාව සමග කටයුතු කරනු ලබන ජනතාවට ශ්‍රි ලංකාව තුළ තමන් කැමති ප්‍රදේශයක තම ව්‍යාපාර කටයුතු ආරම්භ කර දියුණු කිරීම උදෙසා අවස්ථාව ලබා දෙන අතරම සියලුම ශ්‍රී ලාංකිකයන්ට සමානව හා වෙනස්කමකින් තොරව සැලකීමට කටයුතු කරන බවට ද අමාත්‍යවරයා මෙහිදී සහතික විය.
කැනේඩියානු ද්‍රවිඩ කොංග්‍රසය විසින් පසුගියදා උතුරු, නැගෙනහිර සහ බස්නාහිර පළාත්වල රජයේ රෝහල්වල වෛද්‍ය අවශ්‍යතා සඳහා අරමුදල් සැපයීම පිළිබඳව ද අමාත්‍යවරයාගේ ප්‍රසාදය පළ විය. මෙරට අනාගත සංවර්ධනය උදෙසා සියලු ශ්‍රී ලාංකිකයන් සමඟ සබඳතා පුළුල් කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස කැනේඩියානු දෙමළ කොංග්‍රසයේ සභාපති සිවාල් ඉලංගෝ මහතාගෙන් සහ විධායක අධ්යක්ෂ ඩැන්ටන් තුරෙයිරාජා මහතාගෙන් ඉල්ලා සිටීන බව ද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.
