සීමාසහිත ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම එකම දේපළක් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඇපයට තබා ණය ලබාගෙන තිබේදැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) අවධානයට ලක්ව තිබේ.
එමගින් ආසන්න වශයෙන් මෙම බැංකු දෙකෙන් එකම දේපළ ඇපයට තබා එම සමාගම රුපියල් බිලියන 07ක පමණ ණය මුදලක් ලබාගෙන ඇති බවත්, ඒ හේතුවෙන් මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවද කෝප් කාරක සභාවේ මන්ත්‍රීවරුන් පෙන්වාදුන්හ.
ලංකා බැංකුවේ 2018, 2019 මුදල් වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද (24දා) ලංකා බැංකුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර, එහිදී මේ පිළිබඳ සාකච්ඡා කෙරිණි.
මෙහිදී පසුගිය වසර පහක කාලය සඳහා ඉහළම අක්‍රීය ණය ශේෂ සහිත සමාගම් කිහිපයක් පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර එම සාකච්ඡාවේදී සිමාසහිත ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම පිළිබඳ මෙසේ අවධානය යොමු විය.
මේ අනුව සිමාසහිත ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම 2021 වර්ෂය වනවිට ලබාගෙන ඇති ණය වෙනුවෙන් ඇපයට තබා ඇති දේපළ පිළිබඳ පැමිණ සිටි මන්ත්‍රීවරු විසින් ලංකා බැංකු නිලධාරීන්ගෙන් විමසන ලදී.
මෙහිදී එම නිලධාරීන් අදාළ දේපළ පිළිබඳ විස්තර හෙළි කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කළේ පසුගියදා කෝප් කමිටුව හමුවට මහජන බැංකුව කැඳවූ අවස්ථාවේදී එම නිලධාරීන් පැවසුවේද අදාළ සමාගම මෙම දේපළම ඇපයට තබා මහජන බැංකුවෙන්ද ණය ලබාගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාව මෙහිදී කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පෙන්වාදුන් අතර, මෙවැනි බරපතල කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කළ යුතු බවද හෙතෙම පැවසීය.
මේ අනුව ඉදිරියේදී අදාළ බැංකු දෙකම කෝප් කමිටුවට කැඳවා මේ පිළිබඳ වාර්තාවක් සකස්කොට එම වාර්තාවද සමගින් මෙම කරුණ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේය.